Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ඉන්දීය අගමැති ලංකාවට එන තෙක් උතුරේ ධීවර සංගම් බලාහිදී

ඉන්දීය අගමැති ලංකාවට එන තෙක් උතුරේ ධීවර සංගම් බලාහිදී
නව ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේදී ඉන්දීය ධීවරයින්ගෙන් උතුරේ ධීවරයින්ට සිදුවන අසාධාරණකම් පිළිබදව සාකච්ඡා කිරීමට ඊයේ (12) කොළඹදී පැවති විශේෂ සාකච්ඡාවට ධීවර සහයෝගීතා ව්‍යාපාරයට කැදවීමක් නොලැබීම ගැන කණගාටු වන බව ලෝක ධීවර සම්මේලනයේ විශේෂ නියෝජිත හර්මන් කුමාර වවුනියාවේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
පසුගිය රජය පැවති කාල වකවානුවේදී ස්වේච්ඡා සංවිධාන නොසලකා හරිමින් කටයුතු කළා සේම වත්මන් රජයත් වෙනස්වී නොමැතිදැයි යන සැකය තම සංවිධානයට ඇතිව තිබෙන බව කී හර්මන් කුමාර මහතා, ජනාධිපතිවරයා මෙම ප්‍රශ්ණය සම්බන්ධයෙන් සාකච්ඡා කරණ ආකාරයත් ඉන් අනතුරුව කටයුතු කරණ ආකාරය ගැනත් දැඩි විමසිල්ලෙන් සිටින බවත් පැවසීය.
ලබන මාර්තු මාසයේදී  ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී මෙම ප්‍රශ්න පිළිබදව සාකච්ඡා කිරීමට සිය සංගමය අපේක්ෂා කරණ බවද පැවසීය.
දකුණේ ධීවරයින් දේශපාලන බලපෑම් මත උතුරට පැමිණ බලහත්කාරයෙන් මත්ස‍්‍ය සම්පත කොල්ලකෑමද, උතුරේ ධීවරයින්ගේ ඉඩම් විශාල ප්‍රමාණයක් අධි ආරක්ෂිත කලාපයට හසුව තිබීම පිළිබඳවද, ධීවරයින් යුද්ධය හේතුවෙන් මිය යාම නිසා වැන්දඹුවන්ට පත් කාන්තාවන්ට පිළිසරණක් ලබාගැනීම ඇතුලු ශ්‍රී ලංකා රජයෙන් ඉටු නොවූ සෙසු කාරණා ගැනද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දැණුවත් කිරීමට පියවර ගන්නා බව හර්මන් කුමාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
දිනසේන රතුගමගේ - වව්නියාව