Home » » “අපේ ගේ දොර, හේන, කුඹුර, කළපුව අපිට ලැබුණ දාක කාන්තා දිනය අපිටත් සමරන්න පුළුවන්” – පානම්පත්තුව කාන්තාවෝ

“අපේ ගේ දොර, හේන, කුඹුර, කළපුව අපිට ලැබුණ දාක කාන්තා දිනය අපිටත් සමරන්න පුළුවන්” – පානම්පත්තුව කාන්තාවෝ

Written By NAFSO on Monday, March 14, 2016 | 6:47:00 PM

“අපි ගැහැණු. ගැහැණු තමයි ගෙදරක හැම බරක්ම ඔසවාගෙන යන්නේ , පිරිමි හම්බකරලා ගෙනත් දෙනකොට. ඒත්, අපිත් අපේ පිරිමි එක්ක හරි හරියට කුඹුරු කෙටුවා. හේන් කළා. පැල් රැුක්කා. මාළු ඇල්ලූවා. ඒ නිසා සතුටින් ජීවත් වුණා. නමුත් මේ කිසිම දෙයක් අද අපිට නැහැ. අපි අද කුලියට කඹුරන ණයකාරයෝ බවට පත්වෙලා. ගැහැණු අපිට අද ඔසවාගෙන යන්න තිබෙන බර හුඟාක් වැඩියි. දරන්න බැරි තරමට ඒ බර අධිකයි. ආර්ථික අතිනුත්, සාමාජ සංස්කෘතික අතිනුත් අපි අද දිළින්දෝ වෙලා. වෙහෙසට පත්වෙලා. ඉතිං අපි කොහොමද කාන්තා දිනයක් සමරන්නේ! කාන්තාවන් වෙනුවෙන් වෙන්වෙච්ච මේ දවස සමරන්න තරම් පානම ගැහැණු අද සන්තෝසෙන් නෙවෙයි ජීවත් වෙන්නෙ. දේශපාලකයින් අපිට අහිමි කරපු අපේ ම උරුමය අපිට යළි දුන්නදාක අපිත් කැමතියි කාන්තා දිනය සමරන්න.”Paanama Women ii
එසේ පැවසුවේ ලංකාවේ නැගෙනහිර මුහුදු තීරයට හිමිව පවතින එකම සිංහල ගම්මානය යැයි අතීතයේ සිට හඳුන්වා දී ඇති ස්වභාවිකවම වැළි වැටි, ගල් වැටි වලින් හා කඩොලාන වලින් ආරක්‍ෂිත පවුරලා නිර්මාණය වී ඇති අති සුන්දර මෙන්ම සස්ශ‍්‍රීක ගම්මානයක් වන “පානම” නැතහොත් “පානම් පත්තුවේ” කාන්තාවෝය.
මේ ස්වභාව සෞදර්යයේ සුන්දරත්වය පමණක් නොව එහි ශක්තිය ද හේතුවෙන් 2003 වසරේ සුනාමි ව්‍යසනයේදි අඩුවෙන්ම අලාභ හානි පැමිණි මේ “පානම් පත්තුව” ගම, දමිළ පවුල් කිහිපයක් සහ සිංහල පවුල් බහුතරයක් ජීවත්වන, එනිසාම නැගෙනහිර මුහුදු තීරයේ ඇති එකම සිංහල ගම්මානය ලෙසට අතීතයේ සිට නම්කරන, ශාස්ත‍්‍රවෙල, රාගම්වෙල, එගොඩයාය, උල්පස්සයාය සහ හොරේකන්ද යන දර්ශනීය ස්වභාව සෞදර්යයක් ඇති, සස්ශී‍්‍රක පොළොවක් ඇති ජනාවාස කිහිපයක් වෙනුවෙන් සිය මාතෘත්වය ලබාදී ඇත.
මේ ගම් සියල්ලම පොදුවේ ආමන්ත‍්‍රණය කරන “පානම” කාන්තාවෝ මෙසේ ද කියති !
“සමරන්නට දෙයක් තියෙන්්න එපායැ. අසවල් දේ අපට ලැබුණා යැයි අපිට ප‍්‍රීති වන්නට පුළුවන්ද ? අපි දැන් නිදහස් පුරවැසියෝ, අපි ඉල්ලපු දේ අපිට ලැබුණා කියන ඒ සන්තෝෂයවත් අපිට තියෙනවද මේ වගේ දවසක් ගැන සැමරුම් පවත්වන්නට ? අපේ මුලික අයිතිය පවා අද අපිට අහිමි වෙලා තිබෙන මේ වගේ මොහොතක අපිට මොන කාන්තා දිනයක් ද ?” යැයි සිය හෘදසාක්‍ෂිය පවසන දේ ඔවුන් එසේ කීහ.
අද, මාර්තු 08 වනදා මෙරට, කොළඹ මෙන්ම දිවයිනේ් අනෙකුත් ප‍්‍රදේශවලද කාන්තා සංවිධාන බොහෝමයක් විසින් ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු ලබයි. ඇතැමෙක් මුදල් සම්භාරයක් වැය කොට හෝටලයක හෝ සැප පහසු උසස් තැනකදී ජාත්‍යන්තර කාන්තා දිනය “සෙලිබ්‍රේට්” කරති. ඇතැමෙක් එය “සෙලිබ්‍රේට්” කිරීමකට වඩා තවමත් දිනාගත නොහැකිව තිබෙන ”ඉල්ලීම් දිනා ගැනීම” සඳහා සටන් පාඨ පෙරටුකොට ගෙන උද්ඝෝෂණ හා පාගමන්වල යෙදෙති. සම්මන්ත‍්‍රණ, රැළි පවත්වති.
එහෙත් පානම කාන්තාවෝ එකී මෙකී නොකී සියලූම ආකාරයේ සටන් පාඨ ද උද්ඝෝෂණ ව්‍යාපාර ද පාගමන් ද සිය ගණනක් පමණ පවත්වා තවත් පවත්වන්නට දෙයක් නොමැතිව අපේක්‍ෂා භංගත්වයෙන් යුතුව දේශපාලන බලඅධිකාරියෙන් තමන්ට එල්ලවී ඇති අකටයුත්ත , අසාධාරණය ගැන දැඩි චිත්ත පීඩාවෙන් පසුවෙති. ඒ, වෙන කිසිවක් නිසා නොව, වසර ගණනාවක් ජීවිත භුක්තිය ලැබු තමන්ගේ ම ඉඩම හා නිවෙස මෙන්ම රැකියා භුමිය ද අහිමි වීමේ චිත්ත ශෝකය නිසාවෙනි.
මෙවර ජාත්‍යන්තර කාන්තා දින තේමාව වී ඇත්තේ “සවිබල කතක් – තිරසර හෙටක්” යන්නයි. එහෙත් පානම කාන්තාවන් එම තේමාව පිළිබඳව සිය අප‍්‍රසාදය පළ කළේය. මන්දයත් ,
“2015 පෙබරවාරි මස 11 වෙනිදා ලංකාවේ උත්තරීතර පාර්ලිමේන්තුවේ කැබිනට් අනුමැතිය ලබාදෙමින් නිදහස් කළ අපේ ඉඩම් දැන්වත් අපිට දෙන්න. එසේ නැතිනම් “සවිබල කතක් – තිරසර හෙටක්” කියන මේ ජගත් කාන්තා දින තේමාවට අරුතක් දෙන්නට, අගයක් දෙන්නට කිසිදාක අපට බැරිවේවි. අපේ අයිතිය අපිට දුන්න දාක අපිට පුළුවනි මේ තේමාවට ජීවයක් දෙන්නට” යැයි පානම කාන්තාවෝ ප‍්‍රකාශ කරති.
“පරම්පරා ගණනාවක් තිස්සේ අපේ මිනිස්සු ජීවත්වෙච්ච ගේ දොර, වගා කරගෙන ජීවත් වෙච්ච වතු පිටි, හේන කුඹුර, ඉස්සෙක් කකුළුවෙක් මාළුවෙක් අල්ලාගෙන ජීවත් වෙච්ච කළපුව…. මේ හැම දේම අද අපිට අහිමි කරලා තියෙන්නේ. අපිට හිතා ගන්න බැහැ සතුටින් ජීවත් වෙච්ච අපිට මේ දේශපාලනඥයෝ සහ උන්ගේ මැර සහචරයින් අපේ දේපොල මේ විධියට බලහත්කාරයෙන් අල්ලගෙන ඉන්නකොට, ජීවත් වීමේ අපේ මුලික දේවල් ටික ආණ්ඩුවෙන් පැහැරගෙන තිබෙනකොට අපි කොහොමද අපේ දිනයක් කියලා කාන්තා දින සැමරුම් සමරන්නේ ?” යැයි ඔව්හු චෝදනා කරති.
අම්පාර දිස්ත‍්‍රික්කයේ ලාහුගල ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් ශාස්ත‍්‍රවෙල ග‍්‍රාම නිළධාරී වසමේ පිහිටි පොදුවේ “පානම” ලෙසට නම්කරනු ලබන ශාස්ත‍්‍රවෙල, රාගම්වෙල, එගොඩයාය, උල්පස්සයාය සහ හොරේකන්ද යන ජනාවාස වල ජීවත් වු ජනතාවගේ ජනාවාස, විහාරස්ථාන, කෘෂීකාර්මික ඉඩම්, කඩොලාන, වනාන්තර, කළපුව හා වෙරළ තීරය ඇතුළුව අක්කර 1220 ක භුමියෙන්, ශි‍්‍ර ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව විසින් එම ජනතාව බලහත්කාරයෙන් නෙරපා දමා, 2009 වසරේ සිට සිය පාලන බලය යටතට පත්කරගෙන සැබෑ හිමිකරුවන් අවතැන්වී ජීවින සටනක පොරබඳින කළ පැවැති රෙජීමයේ බලය තුළ නාවික හා ගුවන් හමුදාවෝ අනවසර භුක්තියක ප‍්‍රතිලාභ ලබති.
“යුද්ධය තිබුණු කාලයේදිවත් අපිට කිසිම කරදරයක් තිබුණේ නැහැ. එදා නොතිබුනු ආරක්‍ෂක සේවාවන් අද ක‍්‍රියාත්මක වෙනවා. මොකද, අපේ ඉඩම් ගේ දොර මේ ගොල්ල බලෙන් අල්ලගත්තට පස්සේ ඒවා ආරක්‍ෂා කරගන්න, අපිට ඒ පළාත්වලට යන්න නොදෙන්න තමයි එදා නොතිබිච්ච ඔත්තු සේවාවන්, හමුදා කඳවුරු දැන් පිහිටුවලා තියෙන්නෙ.” යැයි කේ. බී. රත්නමාලි කීවේය. Paanama Women v
රත්නමාලි මෙන් ම ස්වර්ණා පත්මකාන්තිත්, ශීලවති අම්මාත් එක සීරුවට කියා සිටියේ “අපි කියන්නේ, අපේ ඉඩම් ටික (අපේ ගම්) නැවත අපිට ලබාදෙන්න කියන ඉල්ලීම පමණයි. අපි දන්නවා කොහොමද ජීවත්වෙන්නේ කියලා. ජිවත්වෙන්න මොනවද කරන්න ඕනේ කියලා අපි දන්නවා. අපිත් කැමතියි පරිසර හිතවාදී සංචාරක කර්මාන්තයක් ආරම්භකරලා අපේ දිවිත් සරිකරගෙන, රටටටත් ආදායමක්, නමක් ගෙනත් දෙන්න.” කියාය.
එවකට පැවති රාජපක්‍ෂ ආණ්ඩුවේ බලවතුන් විසින් පාලන බලය අනිසි ලෙසට විහිදුවාලමින් පොලීසිය හා හමුදාවන් නීති විරෝධී ලෙසට පාවිච්චි කරවමින් බලහත්කාරයෙන් ජනාවගේ ඉඩම් අත්පත් කරගැනිම හේතුවෙන් මෙම ජනාවාසවල ජීවත්වූ මෙන්ම වගා කටයුතු සිදුකළ දමිළ සිංහල පවුල් 350 ක් පමණ වර්තමානයේදි සම්පූර්ණයෙන්ම අවතැන්වී සිටිති. ඔවුන් අවතැන් වී ය යනු, ඔවුන්ගේ සමස්ත ආදායම් උත්පාදන මාර්ගයන් නැතහොත් සමස්ත ජීවනෝපායන් මාර්ග වන කුඹුරු ගොවිතැන මෙන්ම හේන් ගොවිතැන ද ධීවර කර්මාන්තය ද මුළුමනින් ම ඔවුනට අහිමිවී ගොස් ඇත යන්නයි.
“මේ දේශපාලනඥයින් අපේ තිබුණු සියලූම දේ මංකොල්ල කාලා අපිව අසරණයින් බවට පත්කෙරුවා. අපිට සිදුකර තිබෙන පාඩුව පුංචි පහේ පාඩුවක් නෙවෙයි. අපේ ජීවිත සියල්ලම කාලකණ්ණි කළා. මේ නිසා අපිට අපේ දරුවන්ටවත් දෙන්න බිම් අඟලක් නැහැ.” යැයි සිය හදවත්වල ඇවිලෙන සෝ සුසුම් පිටකරමින් පානම කාන්තාවෝ කීහ.
2009 වසරේදි රණවිරු ගම්මානයක් ඉඳිකිරීමට යැයි පවසා එගොඩයාය, උල්පස්සයාය හා හොරේකන්ද යන ජනාවසවල වගාබිම් මෙන්ම වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තර බිම් හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන රක්‍ෂිත ප‍්‍රදේශවලට අයත් ඉඩම් ද හමුදාවන් විසින් බලහත්කාරයෙන් අත්පත් කරගන්නා අතර 2010 වසරේදි එය නාවික හමුදා කඳවුරුක් බවට පරිවර්ථනය වී තිබු අතර වර්තමානයේදි නාවික හමුදාවට අයත් ගොඩනැගිලි මෙන්ම සංචාරක හෝටලයක් ද පානම කළපුවේ ඉඳිකර ඇත. කළපුවේ ඉඳිකර ඇති හෝටලය “පානම ලැගුන් කබානා” නම් වෙයි. එහෙත් මෙම හෝටලයෙන් තමන්ට ඇති ආර්ථික වාසිය හෝ වෙනයම් හෝ වාසිය කුමක් දැයි කාන්තාවෝ ප‍්‍රශ්න කරති.
ඔවුන් තවදුරටත් අවධාරණය කොට කියා සිටින්නේ , ඔවුන්ගේ පාරම්පරික ඉඩම්වල වෙනත් කිසිවෙක් හෝ කණ්ඩායම්, කොම්පැණි පැමිණ වෙනත් කර්මාන්තයන් ආරම්භ කළ නොයුතු බවත් ඔවුන්ගේ වගා බිමේ යළි, සුපුරුදු භෝග වගාවත්, කළපුවේ ධීවර රැකියාවත්, හේනේ රටකජු මුං වගාවත්, කුඹුරේ වී ටිකත් යල මහට අස්වද්දා ගනිමින් අතීතයේදි ජීවත් වුණු සුන්දර, ශාන්ත, ණය නැති, සස්ශ‍්‍රීක ජීවිත යළි ආරම්භ කරන්නට තමන්ගේ උරුමය තමන්ට නැවත ලබාදෙන්න කියා පමණි.
ඔවුන්ගෙන් කොල්ලකා ගත් ඔවුන්ගේ ම උරුමය, ජිවත්වීමේ මුලීක අයිතිවාසිකම් ටික යළි ලබාදෙනතාක් මොන සැමරුම් දැයි පානම කාන්තාවෝ අවඥාසහගතව ප‍්‍රශ්න කරති ?
*සංචාරක සටහන සහ පිංතුර – මෙලනි මානෙල් පෙරේරා – විශේෂ ස්තුතිය – ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය සහ ඉඩම් අයිතිය සුරැුකීමේ සංවිධානය
Share this article :
NAFSO
NAFSO Convenersdiary
WOMEN
YOUTH
LAND
ACN
IDP
PPD
SRIVIMUKTHI
www.nafsojurney.blogspot.com
 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2013. NAFSO: Towards a Fisher People's Movement - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger