Home » » මහ මුහුදෙ මාළු අල්ලන නීති ඕන නෑ

මහ මුහුදෙ මාළු අල්ලන නීති ඕන නෑ

Written By NAFSO on Sunday, May 22, 2016 | 10:03:00 PM

මහ මුහුදෙ මාළු අල්ලන නීති ඕන නෑඉන්දීය ධීවර නායකයන් 'දිවයින'ට කියූ කතාව

ඉන්දියාවයි පකිස්‌ථානයයි රාජ්‍ය තාන්ත්‍රික විදිහටත් තරහයි. හැම දේකදීම ප්‍රශ්න එනවා. ඒත් ඉන්දියාවේ ධීවරයෝ ගිහින් පකිස්‌ථාන මුහුදු සීමාවෙ මාළු අල්ලනවා. පකිස්‌ථානයේ ධීවරයෝ ඉන්දියාවට අයත් මාළු අල්ලනවා. ඒත් ධීවරයෝ ධීවරයෝ අතරේ ප්‍රශ්න නැහැ. ලංකාවයි ඉන්දියාවයි ඉතාම මිත්‍රශීලි රටවල් දෙකක්‌. රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධකම් ඉතා ඉහළයි. ඒත් මාළු අල්ලන්න ගියහම ගැටලු ගොඩයි. මේ ගැටලු කවුරුවත් විසඳන්නේ නැහැ. ඒ ප්‍රශ්න තව තවත් අවුල් කරනවා.

'ඉන්දියාවට අයිති වෙලා තිබුණු කච්චතිව් දූපත ලංකාවට දුන්න එක තමයි මේ ධීවර ප්‍රශ්නය උග්‍ර වෙන්න හේතුව වුණේ. අපේ පාරම්පරික ධීවරයෝ අනාදිමත් කාලයක ඉඳලා කච්චතිව් දූපතේ අවට මාළු ඇල්ලුවා. ඒ පුරුද්දට තමයි අපේ ධීවරයෝ තවමත් ඒ මුහුදෙ මාළු අල්ලන්නේ. මාළු අල්ලන ධීවරයෝ නාවික හමුදාවෙන් අල්ලගෙන යනවා. ඉන්දියාවෙ ආණ්‌ඩුව ලංකාවට ලියලා දුන්නේ කච්චතිව් දූපත විතරයි. මහමුහුද ලියලා දීලා නැහැ. මේක රටවල් දෙකම තේරුම් ගන්නේ නෑ. ඉතිං හැමදාම ප්‍රශ්න.

මෙහෙම කිව්වේ ඉන්දියාවේ තමිල්නාඩු එක්‌සත් ධීවර සමිතියේ ලොක්‌කා. ඔහු නමින් එස්‌. යේසුදාසන් වුණා. කච්චතිව් දූපතේ වාර්ෂික මංගල්‍යයට ඇවිත් එක පැදුරෙ ඉඳගෙන ඉන්න ගමන් තමයි එයා මේ විදිහට කතාව පටන් ගත්තේ.

දැන් බලන්න කච්චතිව් ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ වාර්ෂික මංගල්‍යයට රටවල් දෙකේම මිනිස්‌සු සහභාගි වෙනවා. මේ අය දවස්‌ දෙකක්‌ මේ දූපතේ ජීවත් වෙන්නේ සහෝදරයෝ වගෙයි. කිසිම ප්‍රශ්නයක්‌ නැහැ. කෑම බීම පවා හුවමාරු කරගෙන කනවා. ඒත් මාළු අල්ලන්න ගියාම තමයි ප්‍රශ්නේ. නාවික හමුදාව ඇවිත් අල්ලගෙන යනවා.

කොහොම හරි දැන් උතුරේ ධීවරයන් සහ ඉන්දීය ධීවරයන් අතරෙත් වෛරයක්‌ ඇතිවෙන තරමට ප්‍රශ්න උග්‍රවෙලා. මේක ලොකු අපරාධයක්‌. අපේ තාත්තලා සීයලා එදා ඉඳන් මේ මුහුදෙ මාළු ඇල්ලුවා. මුහුදු සීමාවක්‌ කියලා දෙයක්‌ පොත්වල තිබුණට මිනිස්‌සු අතරෙ එහෙම දෙයක්‌ නැහැ. දෙගොල්ලොම කතා කරන්නේ එකම භාෂාවක්‌. දෙගොල්ලොම කරන්නේ එකම රස්‌සාවක්‌. එදා ඉඳලා මේ රස්‌සාව සහෝදරයන් වගේ කළා නම් ඇයි අද කරන්න බැරි. දේශපාලනඥයෝ මැදිහත් වෙලා තමයි මේ ප්‍රශ්නය අවුල් කළේ. ඒ අය තමන්ගෙ බලපුළුවන් කාරකම පෙන්නන්න එක එක දේවල් කියනවා. අන්තිමේදී ප්‍රශ්න ඇති වුණේ ලංකාවෙයි ඉන්දියාවෙයි ධීවරයෝ දෙපිරිස අතරෙයි.

ඉන්දියාවයි පකිස්‌ථානයයි රාජ්‍ය තාන්ත්‍රික විදිහටත් තරහයි. හැම දේකදීම ප්‍රශ්න එනවා. ඒත් ඉන්දියාවේ ධීවරයෝ ගිහින් පකිස්‌ථාන මුහුදු සීමාවෙ මාළු අල්ලනවා. පකිස්‌ථානයේ ධීවරයෝ ඉන්දියාවට අයත් මාළු අල්ලනවා. ඒත් ධීවරයෝ ධීවරයෝ අතරේ ප්‍රශ්න නැහැ. ලංකාවයි ඉන්දියාවයි ඉතාම මිත්‍රශීලි රටවල් දෙකක්‌. මේ සම්බන්දෙ බුදුහාමුදුරුවෝ පහළවුණු කාලෙ ඉඳලා තියන සම්බන්ධයක්‌. වෙළෙඳ සම්බන්ධකම් හොඳම තියෙනවා. රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධකම් ඉතා ඉහළයි. ඒත් මාළු අල්ලන්න ගියහම ගැටලු ගොඩයි. මේ ගැටලු කවුරුවත් විසඳන්නේ නැහැ. ඒ ප්‍රශ්න තව තවත් අවුල් කරනවා.

තමිල්නාඩුවේ ධීවර සමිති නායකයා මගෙත් එක්‌ක මෙහෙම කතා කර කර ඉන්නකොට ඒ පැදුර ළඟින් තවත් කෙනක්‌ වැඩිවුණා. එයා ආවේ මාව හම්බ වෙන්න නොවුණත් එයා තමයි ඉන්දියාවේ ආන්ද්‍රd ප්‍රදේශයේ ධීවර සමිති නායකයා. ඔහුගේ නම එස්‌. සීමට්‌ටියි. ඔහුත් මේ කතාවට හවුල් වුණා.

මහමුහුදෙ කවුරුවත් මාළු හිටවන්නේ නෑනේ. බෝ කරන්නෙත් නෑ. පැළ කරන්නෙත් නෑ. ඒත් ධීවරයෝ කවදාවත් කිව්වෙ නෑ. දැන් මහ මුහුදෙ මාලු නෑ කියලා. දැන් මහ මුහුදේ මාළු බෝවීම ඉස්‌සරටත් වඩා වැඩියි. කොයි තරම් නවීන උපක්‍රම යොදලා මාළු ඇල්ලුවත් මහ මුහුදේ ඉන්න මාළු අඩු කරන්න බැහැ. මේක හාස්‌කමක්‌. දෙවියෝ මවලා දුන්න සම්පතක්‌. මිනිස්‌සුන්ට ජීවත් වෙන්න පහල වුණු සම්පතක්‌. මේ අපේ රස්‌සාවට පිහිට සපයන්නේ ශාන්ත අන්තෝනි මුනිඳුන්. උන්වහන්සේ ආශිර්වාද කරනවා. ඒක නිසා මහ මුහුදේ කොච්චර මාළු ඇල්ලුවත් මාලු හිඟයක්‌ එන්නේ නැහැ.

මේ වගේ තත්ත්වයක්‌ තියෙද්දි මේකට නීතිරීති දාලා කරදර වැඩි කරලා කටයුතු කරන එක හින්දා අවුල් ගොඩක්‌ හැදෙනවා. මේ අවුල් ලිහන්න යන වියදම මාළු අල්ලන්න යන වියදමට වඩා වැඩියි.

ධීවර බෝට්‌ටුවක්‌ ලක්‍ෂ ගාණක්‌ වෙනවා. දැල් සෙට්‌ එකකුත් ලක්‍ෂ ගාණක්‌ වෙනවා. කුළියට මිනිස්‌සු අරන් මේ රස්‌සාව කරන කොට ධීවර බෝට්‌ටුවක්‌ නාවික හමුදාව අල්ලලා උසාවියෙන් ඒක රාජ සන්තක කළහම රුපියල් කෝටියක විතර පාඩුවක්‌ සිද්ධ වෙනවා. තවත් විශාල මුදලක්‌ වියදම් කරන්න වෙනවා නඩු කියන්න. මේක හරිම අසාධාරණ තත්ත්වයක්‌. මහ මුහුදට නීති තියෙන ඕනේ. ඒ මාළු අල්ලන එක සම්බන්ධයෙන් නොවෙයි.

ඉන්දියාවෙ ධීවරයන්ට ලංකාවෙ මුහුදු සීමාවට එන්න බෑ කියනවා. ලංකාවෙ ධීවරයන්ට ඉන්දියාවෙ මුහුදු සීමාවට එන්න බෑ කියනවා. කච්චතිව් දූපතේ මුහුදේ මාළු ඇල්ලුවත් අල්ලගෙන යනවා. ඒත් චීනයේ මහා නැව් ඇවිත් රටවල් දෙක මැද මාළු අල්ලනවා. ඒ අයට අත්අඩංගුවට ගත්තේ නෑ. මිනිස්‌සු නීතිරීති හදන්න ඕනේ පොඩි මිනිස්‌සු ආරක්‍ෂා කරන්නයි. ඒත් දැන් නීති හැදෙන්නේ මහා පරිමාණයෙන් කොල්ල කන බහුජාතික සමාගම් ආරක්‍ෂා වෙන විදිහටයි. මේක ලංකාවෙත් වෙනවා. ඉන්දියාවෙත් වෙනවා.

ලංකාවෙත් ඉන්දියාවෙත් ආර්ථිකයට මේ ධීවරයන්ගෙන් විශාල ආදායමක්‌ ලැබෙනවා. අපේ රටවල් දෙකේම කෘෂිකර්මාන්තයට පස්‌ස ලොකු ආදායමක්‌ ලැබෙන්නේ ධීවර කර්මාන්තයෙන්. පාලකයෝ කරන්න ඕනේ මේ කර්මාන්තය නඟා සිටුවන්න ආධාර කරන එකයි. ඒත් ඒක එහෙම වෙන්නේ නැහැ. මේ රටවල් දෙකේම ලොකු දේශපාලනඥයොත් ධීවර කර්මාන්තයේ යෙදෙනවා. ඔවුන්ට ටෝලර් යාත්‍රා තියෙනවා. බෝට්‌ටු තියනවා මිනිස්‌සු දම්මලා ධීවර රස්‌සාව කරනවා. නීතියේ රැහැනට අහුවෙන්නේ කුලී කාරයෝ. අඩුම ගාණේ මේ හිර ගෙවල්වල ගියහම ගෙදර පවුල්වල අයට ජීවත්වෙන්න වත් කීයක්‌වත් දෙන්නේ නැහැ.

කච්චතිව් දූපතේ පිහිටි ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්‌ථානයේ මධ්‍යම රාත්‍රියේ පූජාව ආරම්භ වුණා. අපේ කතාවට මොහොතකට විරාමයක්‌ ලැබුණා. ඉන්දියාව ලංකාවට 1973 දී මේ දූපත තෑගි ඔප්පුවක්‌ ලියලා දුන්නත් ලංකාවෙ අයටත් ඉන්දියාවේ අයටත් මේ දූපතට යන්න එන්න පුළුවන් අවුරුද්දකට දවස්‌ දෙකක්‌ විතරයි. වාර්ෂික මංගල්‍යය පැවැත්වෙන දින දෙකේදී විතරයි.

අක්‌කර හත්සිය පනහක්‌ වුණු මේ සුන්දර කච්චතිව් දුපත හරිම ලස්‌සනයි. ඒත් මේ කච්චතිව් යන ගමනත් හරියට සිරිපාදේ යනවා වගේම ගමනකුයි. යෑයි කියමනක්‌ තියනවනේ එකපාරක්‌වත් සිරිපාදේ නොගිය කෙනෙක්‌ මෝඩයෙක්‌ එක පාරට වඩා ගිය අයත් මෝඩයෝ කියලා. කච්චතිව් දූපත සිරිපාද වගේ නෙමෙයි. පහසුකමක්‌ නැති කාන්තාරයක්‌ වගෙයි. නාවික හමුදාවේ අය තමයි කච්චතිව් දූපතට යන සේරම අයට පහසුකම් සපයලා දෙන්නේ. මේ අතරින් මාධ්‍යවේදීන්ට ඒ අය ගොඩක්‌ හොඳට සලකනවා. යන්න එන්න නාවික හමුදාවේ අධිවේගී සුඛෝපභෝගී යානා ලබලා දෙනවා. බොන්න වතුර බෝතලේ ඉඳලා හැම දෙයක්‌ම ලැබෙනවා. ඒ හන්දා තමයි එක වතාවක්‌ කච්චතිව් යන මාධ්‍යවේදියෝ ඊළඟ අවුරුද්දෙත් මේ දූපතේ මංගල්‍යයට යන්න උත්සාහ දරන්නේ.

කළින් මේ දූපත අයිති ඉන්දියාවටයි. ඒ කාලේ ධීවර ජනතාව මේ දූපතේ මංගල්‍යයට සහභාගි වුණා. ඒකට හේතුව තමයි ධීවර ජනතාවට පිහිට වෙන එකම දෙවියෝ මේ ශාන්ත අන්තෝනි මුනිඳුන් කියලා ඒ අය විශ්වාස කරනවා. දැන් මේ දූපත ලංකාවට අයිති වුණත් ඉන්දීය ධීවරයෝ විශාල පිරිසක්‌ කච්චතිව් මංගල්‍යයට ඉන්දියාවේ ඉඳලා එනවා. මේ ගමන එන්න ඔවුන්ට ගමන් බලපත්‍ර (පාස්‌පෝට්‌) ඕනේ නැහැ. ඒ වගේ නීතිරීති කීපයක්‌ම 1973 දී සිරිමා ශාස්‌ත්‍රි ගිවිසුමක්‌ එක්‌ක කච්චතිව් දූපත ලංකාවට ලියලා දෙනකොට ඒ ගිවිසුමේ සඳහන් වෙලා තියෙනවා.

රාත්‍රි දේවමෙහෙය අවසන් වුණා. ධීවර නායකයෝ දෙන්නා තමන්ගේ යෝධ ගමන් මලු දෙක විවෘත කළා. ඉන්දීය කෑමවලින් සංග්‍රහ කරලා හොඳ උණුකෝපි කෝප්පයකුත් ඔවුන් මට පිරිනැමුවා. ආයෙත් අපි කතාවට වැටුණා. ඒ මුලින් කතා කළ යේසුරාසා එක්‌කයි.

ඉන්දු ලංකා ධීවර ප්‍රශ්නය විසඳන්න ඕනේ කියලා රටවල් දෙකේම නායකයෝ හැමදාම කතා කරනවා. ඒත් මේකට විසඳුමක්‌ ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඒ අය කතාකරන්නේ නීති පොත ඉස්‌සරහින් තියාගෙනයි. දැන් මහමුහුදේදි ඉන්දියාවෙ ධීවරයෙක්‌ මුණ ගැහුණම ලංකාවේ ධීවරයෝ එහෙම අත්අඩංගුවට ගන්නේ නැහැ. ඒකෙ අනිත් පැත්තත් එහෙමම තමයි. අත්අඩංගුවට ගැනීම් කරන්නේ නාවික හමුදාව තමයි. ඒකට හේතුව නීත්‍යානුකූලව එහෙම කරන්න සිද්ධ වෙලා තියන එකයි.

අපි හිතනවා මේ ප්‍රශ්නය විසඳගන්න හොඳම ක්‍රමය රටවල් දෙකේම ධීවර නායකයෝ එකට එකතු වෙන එකයි. එහෙම එකතු වෙලා කතාබහ කරලා හොඳ තැනකට එන්න පුළුවන් වෙනවා. අපි දෙගොල්ලට නීති මාලාවක්‌ හදාගන්න පුළුවන් වෙනවා. එතකොට මේ ආරවුල් මොනවත් එන්නේ නැහැ. ඒත් ඒකට රටවල් දෙකේම ආණ්‌ඩු ඉඩ තියන්නේ නෑ. ඒ අය කතා කරනවා කියලා මේකට අවුල් ගොඩක්‌ හැදනවා.

මීට ඉස්‌සර වෙලා අපි අපි කතා කරලා එකඟතාවයට ආවා. අවුරුද්දකට දවස්‌ එකසිය අසූපහක්‌ විතරක්‌ ලංකාවේ මුහුදු තීරයට එන්නම් කියා. අපි එන්නේ නැති දවසට ශ්‍රී ලංකාවේ ධීවරයන්ට ඉන්දීය මුහුදු සීමාවට එන්න කියලා. ටික දවසක්‌ මේක ක්‍රියාත්මක වුණා. විශාල ආන්දොaලනයක්‌ ඇතිවෙලා ඒක නතර වුණා. දැනට වුණත් අපි එන්නේ සතියේ සඳුදා, බදාදා සිකුරාදා කියන දිනවල විතරයි. ඉතිරි දවස්‌වල උතුරේ ධීවරයන්ට ඉන්දීය මුහුදු සීමාවට එන්න කියලා තියෙන්නේ. ඒත් නාවික හමුදාවටයි ඉන්දීය වෙරළ ආරක්‍ෂක නිලධාරීන්ටයි බයේ මේ අය එන්නේ නැහැ.

මහමුහුද නිර්මාණය වෙලා තියෙන්නේ හැමෝටම අයිති විදිහටයි. මුහුද මැද්දෙ තැනින් තැන රටවල් තිබුණට මාළු සම්බන්ධයෙන් අයිතියක්‌ ඒ ඒ රටවලට ලබලා දෙන එක අසාධාරණයි. මාළුන්ටත් කුරුල්ලන්ට වගේ ඉගිල්ලෙන්න පුළුවන් නම් ඒ අයට කැමති තැනක ගිහිං වහයි. එහෙම බැරි හින්දා කවුරු හරි අල්ලගෙන යනකල් කොහෙ හරි මුහුදක ඉන්නවා. මේ මාළු සම්පත මුහුදෙන් ගොඩට දාලා ආර්ථිකය සරු කරගන්නවා මිසක්‌ ඒකට නීතිදාලා මිනිස්‌සු හිරේ යවන එකනම් වැරදියි. ඡේසුරාසා කතාව හමාර කළා.

දිනසේන රතුගමගේ
Share this article :
NAFSO
NAFSO Convenersdiary
WOMEN
YOUTH
LAND
ACN
IDP
PPD
SRIVIMUKTHI
www.nafsojurney.blogspot.com
 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2013. NAFSO: Towards a Fisher People's Movement - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger