Home » » ලයිට්‌ කෝස්‌ නිසා පපුව හෝස්‌ ගා යන ධීවරයන්ගේ කතාව

ලයිට්‌ කෝස්‌ නිසා පපුව හෝස්‌ ගා යන ධීවරයන්ගේ කතාව

Written By NAFSO on Sunday, March 12, 2017 | 2:37:00 PM

අපේ ඇතැම් ධීවර කාර්මිකයන් විසින් භාවිත කරනු ලබන තහනම් පන්න ක්‍රම නිසා අපේ මත්ස්‍ය සම්පතට සිදු වන හානිය සුළු පටු නොවේ. ධීවර අමාත්‍යංශය මගින් මෙකී තහනම් පන්න ක්‍රම කුමන නීති රීති දමා තහනම් කළ ද ඇතැම් ධීවර කාර්මිකයන් විසින් එම පන්න ක්‍රමවලින් ඉවත් වීමට මැලිකමක්‌ දක්‌වති. සමහරක්‌ ධීවර කාර්මිකයන් මෙකී තහනම් පන්න ක්‍රම භාවිත කරනු ලබන්නේ එම පන්න ක්‍රම අනිකුත් ධිවර කාර්මිකයන් ද භාවිත කරන බැවිනි. මෑතකදී ධීවර කර්මාන්තයට එක්‌වූ පන්න ක්‍රමයක්‌ වන්නේ හැඹිලි දැල් යොදා මසුන් ඇල්ලීමය.

මෙකී හැඹිලි දැල් පන්න ක්‍රමය තහනම් කිරීමට ධීවරයන් පිරිසක්‌ යෝජනා කරද්දී තවත් ධීවරයන් පිරිසක්‌ එයට විරෝධය පළ කරති. මෙම හැඹිලි දැල් පන්න ක්‍රමය නිසා ධීවර කාර්මිකයන් දෙපිලකට බෙදී සිටිති. පාජෝ නැමැති ජපන් ජාතිකයකු විසින් අපේ ධීවර කාර්මිකයන්ට හැඹිලි දැල් හඳුන්වා දුන් බවද කියති. ඒ අසූව දශකයේදීය. හැඹිලි දැල් යනු රේසින් දැලකි. මසුන් ඇල්ලීම සඳහා මේ දැල උපයෝගී කරගන්නේ දැල වටකොට යටින් ඇහිරීමෙනි.

හැඹිලි දැල් වර්ග කිහිපයකි. හබරලි දැල, මොරලි දැල, අලගුඩු දැල, ආදී දැල් වර්ග කිහිපයකි. අල්ලනු ලබන මසුන්ගේ නම් අනුව මෙකී නම් පටබැඳී ඇත්තේය. පසුව ඇතැම් ධීවර කාර්මිකයන් විසින් හැඹිලි දැල් යොදාගෙන ජෙනරේටරයක්‌ අධාරයෙන් මුහුද යටට ආලෝක ධාරාවන් යවා මසුන් ඇල්ලීමට කටයුතු කළහ. එයට නම් පටබැඳී තිබුණේ ලයිට්‌ කෝස්‌ යනුවෙනි. sඑය තහනම් කොට ඇති පන්න ක්‍රමයකි. දොඩන්දූවේ ධීවරයන් නම් මෙයට කියන්නේ බාගෙන කන එක ඉහගෙන කනවා යනුවෙනි.

අපේ පැරණි ධීවර කාර්මිකයන් මසුන් ඇල්ලීම සඳහා හැඹිලි දැල් භාවිත කළේ නැත. එහෙත් හැඹිලි දැල් පන්න ක්‍රමය හඳුන්වා දීමත් සමඟම එම ධීවරයන්ගේ දරුවන් මෙකී පන්න ක්‍රමය භාවිත කිරීමට පුරුදු වූහ. මේ නිසා පාරම්පරික ධීවර කාර්මිකයන් ද මෙයට විරුද්ධව කතා කරන්නේ නැත. ලයිට්‌ ගැසුවද නොගැසුවද හැඹිලි දැල්වලින් මත්ස්‍ය සම්පතට හානියක්‌ වන බවට මේවා භාවිත කරන ධීවරයන් පවා පිළිගනියි..

නීතිය අනුව නම් හැඹිලි දැලක උස මීටර් 25කි. දිග මීටර් 225ක්‌ විය යුතුය. ධීවර පනත අනුව මෙම හැඹිලි දැල් ආම්පන්න යොදාගෙන මසුන් ඇල්ලිය හැක්‌කේ උදේ හයේ සිට සවස හය දක්‌වා පමණි. රාත්‍රි කාලයට හැඹිලි දැල් ආම්පන්න යොදාගෙන මසුන් ඇල්ලිය නොහැකිය. එහෙත් දකුණු මුහුදු තීරයේ අම්බලන්ගොඩ හා දොඩන්දුව අතර මුහුදු කලාපයේ හැඹිලි දැල් යොදාගෙන ලයිට්‌ කෝස්‌ පන්න ක්‍රමයට අනුව මසුන් ඇල්ලීම නිසා දොඩන්දූවේ සුළු පන්න ධීවර කාර්මිකයන් දැඩි අසරණ තත්ත්වයට පත්ව තිබේ.

ලයිට්‌ කෝස්‌ පන්න ක්‍රමය යොදාගෙන මසුන් ඇල්ලීමට එක්‌ හේතුවක්‌ ද තිබුණි. දොඩන්දූවේ සුළුපන්න ධීවරයන් ඉතිහාසයේ කවදාවත් නොවූ අයුරින් දිවා කාලයේ ද පාවෙන දැල් යොදාගෙන දැල්ලන් ඇල්ලූහ. මෙය අහඹු සිදුවීමකි. දිවා කාලයේ දී දැල්ලන් කිලෝ දෙදහස තුන්දහස ඇල්ලූහ. දොඩන්දූවේ සුළු පන්න ධීවරයන් අත් පන්න ක්‍රමය යොදාගෙන මසුන් අල්ලා හොඳ ආදායමක්‌ ලැබූහ. පසුගිය කාලයේ ලයිට්‌ කෝස්‌ පන්න ක්‍රමය තහනම් කොට තිබීම නිසා මසුන් වෙනදාට වඩා බෝ වූහ. ලයිට්‌ කෝස්‌කරුවන් මේ දෙස බලා සිටියහ. අත් පන්න යොදාගෙන දිවා කාලයේ ද මෙතරම් මසුන් ප්‍රමාණයක්‌ අල්ලන්නේ නම් රාත්‍රි කාලයට ලයිට්‌ කෝස්‌ පන්න ක්‍රමය යොදාගෙන විශාල මසුන් ප්‍රමාණයක්‌ ඇල්ලීමට හැකි බව ඔවුහු දැන සිටියහ. මෙයට ඇතැම් සුළු පන්න ධීවර කාර්මිකයන්ගේ ද සහයෝගය හිමි වී තිබේ.

දොඩන්දූවේ සුළුපන්න ධීවර කාර්මිකයන් මාස හයක්‌ පමණ මසුන් ඇල්ලුවේ අත් පන්නයෙන් දැල් පන්නය කළේම නැහැ. හොඳට මසුන් හසුවුණා. තංගුවෙන් මරලා තමයි මසුන් ඇල්ලුවේ බෝල්ලෝ, දැල්ලෝ, කවදාවත් නැති විදියට හසුවුණා. දිනකට එක්‌ අයකු අත් පන්න රක්‌ෂාව කරලා රුපියල් විසි තිස්‌දහසක්‌ හොයා ගත්තා. සුළු පන්න ධීවරයන් අත් පන්නයෙන් මෙවර තෝරු මසුන් පවා ඇල්ලුවා. නමුත් දැන් ලයිට්‌ කෝස්‌ ගහනවා හොරාට. මේ නිසා සුළු පන්න ධීවරයන් දැඩි අසරණ වෙලා. මත්ස්‍ය අස්‌වැන්න අඩුවෙලා. ඩයිනා ගහනවා ඒත් අල්ලන්නේ නැහැ. බලපිටියයි හික්‌කඩුවයි අතර තමයි ලයිට්‌ කෝස්‌ ගහන්නේ. මට වල්ලම් හතක්‌ තියෙනවා පසුගිය දිනවල. තේ වණ්‌ඩුවවත් හොයා ගන්න මසුන් අල්ලන්න බැරිවුණා යෑයි සුළු පන්න ධීවර කාර්මිකයකු වන. මානවඩු සිරිල් මහතා කීවේය.

සිරිල් මහතා ළඟ ද හැඹිලි දැල් දෙකක්‌ තිබේ. අනික්‌ ධීවරයන් කරන නිසා තමන් ද මෙම දැල් භාවිත කරන බව ඔහු කීවේය. දොඩන්දූවේ සුළු පන්න ධීවර කාර්මිකයන් 300 ක්‌ පමණ සිටිති. නැංගුරම්පළේ තිබූ ගල් වැටිය කැඩී ගොස්‌ තිබේ. එය තවමත් අලුත්වැඩියා කොට නැත. දොඩන්දූව තවමත් නැංගුරම්පළකි. දොඩන්දූව ධීවර වරාය නමට පමණක්‌ වරායක්‌ වශයෙන් නම් කොට ඇති බවද. සුළු පන්න ධීවර කාර්මිකයෝ පවසති. සැබැවින්ම දොඩන්දූව වරායට ඇත්තේ දිගු ඉතිහාසයකි. මෙය පිහිටි වරායකි.

අතීතයේ දොඩන්දූව වෙළෙඳ නගරයක්‌. මෙම වරායට ඉතිහාසයක්‌ තියෙනවා. ඉන්දියාවේ ඉඳලා ජාඩි ගෙනාවේ මෙම වරායට. අපේ තාත්තාත් ජාඩි කර්මාන්තය කළා. ඔහු ධීවර වෙළෙන්දෙක්‌. තාත්තා ඉන්දියාවේ ඉඳලා ජාඩි ගෙනාවා. දැන් ජාඩි කර්මාන්තය නතර වෙලා. ඉන්දියාවෙන් ජාඩි ගේන්නේ නැහැ. යාත්‍රා ඔරු මෙම වරායේ තිබිලා තියෙනවා. ඉන්දියාවේ ඉඳලා සුළුප්පුවලින් තමයි ජාඩි ගෙනාවේ. තවමත් මෙම වරාය සංවර්ධනය කරලා නැහැ. නමුත් මෙහි සේවකයන් නම් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ඉන්නවා. මේ අයට පඩි ගෙවන්න මේ නැංගුරම්පළෙන් ලැබෙන ආදායම මදි. කේ.පී. ඩබ්ලිව්. සුමනසිරි කීවේය.

එම්. ඩබ්ලිව්. බුද්ධදාස (57) වල්ලම්වල යන ධීවර කාර්මිකයෙකි.

"ලයිට්‌ කෝස්‌ ගැසීම නිසා මත්ස්‍ය සම්පත අඩුවෙලා තියෙනවා. ඉදිරියේ දී රක්‌ෂාව නැතිවේද කියලා අපට ගැටලුවක්‌ තියෙනවා. ඒ විතරක්‌ නෙවෙයි ලයිට්‌කෝස්‌කරුවන් අපේ දැල් පවා කපනවා. මෙය බරපතළ ගැටලුවක්‌" යෑයි බුද්ධදාස කීවේය.

ලයිට්‌ කෝස්‌ පන්නයෙන් මසුන් ඇල්ලීමට පෙර මේ කලාපයේ ධීවරයන් රුපියල් දෙදහසක්‌ පමණ වියදම් කොට අත් පන්නයෙන් දැල්ලන්, බෝල්ලන් අල්ලා රුපියල් විසි තිස්‌ දහසක්‌ සොයා ගනු ලැබීය. ලයිට්‌කෝස්‌ ක්‍රමය නිසා ඒ සියල්ල අද වන විට නතර වී තිබේ. මේ සඳහා ඇතැම් සුළු පන්න ධීවර කාර්මිකයන් ද ලයිට්‌ කෝස්‌කරුවන්ට සහයෝගය ලබා දෙති. ඔවුහු රාත්‍රි කාලයේ වල්ලම්වලින් ගොස්‌ පාවෙන දැල් දමා වට කරති. එහෙත් මසුන් ඇල්ලීමට ලබා දෙන්නේ ලයිට්‌කෝස්‌කරුවන්ටය. අල්ලනු ලබන මත්ස්‍ය අස්‌වැන්නෙන් තුනෙක්‌ එකක්‌ සුළු පන්න ධීවරයාට හිමිවේ. දැල් දමා වටකර මහන්සි වෙනවාට වඩා මෙසේ අල්ලනු ලබන මත්ස්‍ය අස්‌වැන්නෙන් කොටසක්‌ ගැනීම සුළු පන්න ධීවරයාට වාසිය. එහෙත් සෑම සුළුපන්න ධීවර කාර්මිකයකුම මේ වැඩේ කරන්නේ නැත.

නාවික හමුදාව විසින් වැටලීම් කොට ලයිට්‌ කෝස්‌කරුවන් අල්ලයි. එහෙත් ඉතා සූක්‌ෂම ලෙස මොවුන් මෙම ජාවාරම කරගෙන යන බව සුළු පන්න ධිවරයෝ පවසති.

ගාල්ල දිස්‌ත්‍රික්‌ ධීවර සංවිධානයේ සභාපති හා ජාතික ධීවර සම්මේලනයේ භාණ්‌ඩාගාරික ජී. එම්. රවීන්ද්‍ර මහතා කීවේ මෙවැනි කතාවකි.

මේ සඳහා ධීවර අමාත්‍යංශය විසින් විසඳුමක්‌ ගේන්න ඕන. හැඹිලි දැල් සම්බන්ධව නව පනතත් ගේන්න ඕන. මේ පනත අලුත් වෙන්න ඕන. නාරා ආයතනයෙන් හැඹිලි දැල් සම්බන්ධව පරීක්‌ෂණයක්‌ කරනවා. මේ සියලු පරීක්‌ෂණ තිරසාර ධීවර සංවර්ධනයක්‌ සඳහා හොඳ පැත්තට එන්න ඕන. මුහුදේ මාළු නැති වුණොත් මේ රක්‌ෂාව නැති වෙනවා. හැඹිලි දැල්වලට බලපත්‍රයක්‌ දෙන්න ඕන. දිස්‌ත්‍රික්‌කයෙන් දිස්‌ත්‍රික්‌කයට ක්‍රියාත්මක පන්න ක්‍රමය අනුව ඒක වෙනස්‌ වුණාට කමක්‌ නැහැ. අවශ්‍ය බලපත්‍ර ප්‍රමාණය තීරණය කරන්න ඕන. මේ රැකියාව කළාට බලපත්‍රයක්‌ නැහැ. දැන් මේ රැකියාව ව්‍යාප්ත වෙලා තියෙන්නේ. මේක නතර කරන්න බැහැ. මේ ගැන ධීවර අමාත්‍යංශයේ උපදේශක කාරක සභාවෙත් කතා කළා. ලයිට්‌ කෝස්‌කරුවන් කියනවා මේ තුළින් මත්ස්‍ය සම්පතට හානියක්‌ නැහැ කියලා. නමුත් සුළු පන්න ධීවරයන් කියනවා හානියක්‌ වෙනවා. මේ සඳහා විසඳුමක්‌ ලබාදීම බලධාරීන්ගේ වගකීමක්‌. යෑයි ද ඔහු කීවේය.

ගාල්ල ලලිත් චාමින්ද (දිවයින)
Share this article :

NAFSO




NAFSO Convenersdiary




WOMEN




YOUTH




LAND




ACN




IDP




PPD




SRIVIMUKTHI




www.nafsojurney.blogspot.com

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2013. NAFSO: Towards a Fisher People's Movement - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger