වේදනාවද, බලාපොරොත්තුවද තුරුලූකරන් ‘ඇවිදින අම්මා’

කොළඹ ඉදලා ත‍්‍රිකුණාමලේට යන ප‍්‍රධාන පාර ඉතාමත් පහසුවෙන් ගමන් කල හැකි විදිහට ඉදිකරලා. දැන් සම්පූර්ණයෙන්ම වගේ පාරේ වැඩ ඉවරයි. වෙනදාට වැඩිය අඩු කාලයකින් අපි කොළඹ ඉදලා ත‍්‍රිකුණාමලේට ලගා වුනා. ත‍්‍රිකුණාමලේ නගරයත් සීග‍්‍රයෙන් සංවර්ධනය වන බවක් පෙනෙන්නට තිබුණා.




අපි ගියේ, ඊයේ(11) ත්‍රිකුණාමලය නගරසභා ප‍්‍රධාන ශාලාවේ පැවති වැඩසටහනකට. වැඩසටහන තමයි ගෘහ මූලික කාන්තාවන් සම්බන්ධයෙන් ධීවර සහයෝගීතා ව්‍යාපාරය සංවිධානය කරන වැඩසටහනක්. වැඩසටහන පටන් ගන්නකොට එය මෙහෙය වූ මිතුරා පවසා සිටියේ අපි ‘වැන්දඹු‘ කියන වචනය පාවිච්චි කරන්නේ නෑ කියලා. ඉතාමත් හොද ප‍්‍රවේශයක්. ඒත් අපි කාටත් මගහැර යා නොහැකි වූ සත්‍යක් හමු වුනා. කොළඹ ත‍්‍රිකුණාමලය පාරේ දැන් ‘ඔහේ’ ගමන් කරන්නෙකුට හමු නොවුනු සත්‍යක් හමු වුනා.
ඒ කතාව තුළ ඒ සත්‍ය සැගව තිබුණා.
ඒ පැමිණ සිටි කාන්තාවන්ගෙන් සියලූ දෙනා වගේ ‘වැන්දඹු’ නැතිනම් අප මිතුරා කියු පරිදි ‘ගෘහ මූලික කාන්තාවන්’. ඔවුන් එසේ උනේ ‘අසාවට නොවන’ බව ත‍්‍රිකුණාමලය වෙරළ තීරයේ විවේක සුවයෙන් ගත කරනා දකුණේ බොහෝ දෙනෙකුට නොසිතෙන්නට පුලූවන. වෙනත් විදිහකට කියනවා නම් ඔවුන්ට එසේ වූයේ ‘පුරුෂ මූලික’ සාම්ප‍්‍රදායික ලාංකීය පවුලට අභියෝග කරන්නට ගොස් නොවේ. එසේත් නැති නම් ඉබේවත් නොවේ. එසේ වුයේ වසර ගණනාවක් රාජ්‍ය විසින්, උතුරු, නැගෙණහිර ජනයා වෙත මුදාහල සහාසිකත්වය නිසා ය. එම මුග්ද සාහසිකත්වයෙන් ඒ අම්මාවරුන්ට අද ඉතිරි කර ඇත්තේ වැන්දඹු භාවය නැතිනම් ගෘහයේ මූලිකයා වීමටය. නොසිතූ ලෙස සිය පවුලේ සියලූ බර හිස මත දරා ගන්නට ය.
එම සාහාසිකත්වයේ කුරිරු බව, වේදනාව, යුද්ධයෙන් වසර 3ක් ඉක්ම ගියත් ඒ අම්මාවරුන්ට අදටත් අමතක කිරීමට නොහැකි බව අප දෑස් ඉදිරියේ දිග හැරුණේ අප කිසිවිටකත් නොසීතූ මොහොතකය.
අපි, අපගේ මිතුරෙක් සමග ශාලාවෙන් පිටත නැගෙණහිර පළාතේ පවතින ගැටලූ ගැන කතා කරමින් සිිටියෙමු. වයස්ගත මවක් ටික වේලාවක සිට අප දෙස බලා සිටින බව මට නිරීක්ෂණය විය. ඉන් මද වේලාවකට පසු ඇය අප වෙත ලංව දෙමළ බසින් යමක් අප වෙත පැවසීය. එහෙත් ඇයගේ භාෂාව තේරුම් ගන්නට තරම් අප පොහොසත් නොවූයෙන් අප දෙමළ මිතුරියකගේ සහය පැතූවෙමු.
අප මිතුරිය, ඒ වයස් ගත අම්මා පැවසූ දේ අපට සිංහලෙන් පැහැදිලි කරන අතර තුර ඒ අම්මාගේ අත, ඇගේ කුඩා පොලීතින් බෑගය වෙත කුමක් හෝ සොයමින් සැරිසරන බව අප කාටත් වැටහෙන්නට වැඩිවෙලාවක් ගත වූයේ නැත. පොලීතින් බෑගයෙන් ෆයිල් කවරයකට සමාන දෙයක් එළියට ගත් ඇය එයත් ඉතා අපහසුවෙන් එය පෙරලන්නට උත්සුක විය. ‘‘මේ මගේ මහත්තයා, මේ මගේ දරුවා’’ 2008 දෙන්නම අරන් ගියා. තාම නෑ’’ ඇගේ බසින් එය පවසා ඉවර වන්නටත් පෙර ඇගේ ඇස්වලින් කදුලූ බිදු කඩා වැටිනි. ඒ ඇගේ සැමියාගේ සහ දරුවාගේ ඡායාරූපය. වසර 4කට පෙර එනම් 2008 දී ඔවුන් ඇගෙන් උදුරාගෙන ගොස් තිබිණි.
නමුත්, ඇය මෙයට සහභාගී වූයේ ‘වෙනත්’ වැඩසටහනකටය.
ඒත් ඇගේ බෑගය තුළ ඇගේ ආත්මය ඇය යන යන තැන අරන් යන්නීය. ඇය තාමත් ඇගේ සැමියා සහ දරුවා සොයා ඇවිදින්නීය. එය කියන්නට හසුවන සෑම තැනදීම ඇය අගේ සැමියාගේ සහ දරුවාගේ ඡුායාරූප පෙන්වා යදින්නීය. නමුත් ‘‘හොයා දීපල්ලා මගේ දරුවා, හොයා දීපල්ලා මගේ සැමියා’’ කියා කෑ ගසා කියන්නට ඇයට ශක්තියක් නැත. ඇයගෙන් ඒ ශක්තිය ඊනියා දේශපේ‍්‍රමීන් උදුරා ගෙන ඇත. ඒත් ඇය තවමත් ඔවුන් සොයා යන්නීය. ඇය හෙටත් ඔවුන් සොයා යනු ඇත.
එහෙත් අපි පසුගිය 10වනදා ‘විශ්ව මානව හිමිකම් දිනය’ සැමරුවේ මෙවන් අම්මලා දහස් ගණනක් කදුලූ හෙලද්දීය…….එහෙත් ඈ හෙලූ කදුලූ, කෙදිනක හො‘ ඇයට ද, ඇය මෙන් අනෙක් අම්මාවරුන්ට ද යුක්තිය ඉෂඪ කරනු ඇත.
[කොතරම් මුදලක් යටකොට ඉදිකර ඇති මහාමාර්ගයන් යට තිබෙන වේදනාව, අයුක්තිය, කෙතරම් ගල් දමා තලා තිබුනත් ඉතා ඉක්මනින් පුපුරා යනු ඇතැයි නැවත කොළඹ, ත්‍රිකුණාමලය මාර්ගයට පිවිසි මට සිතිනි. එය නවතා ලන්නට ‘නැගෙණහිර උදානයට’ නම් නොහැකි වනු ඇත.]