Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ලයිලා දැලේ ඩොල්පින් ටික පැටලෙද්දී... බයිලා ගසනවද සම්පත් වැනසෙද්දී



අනෙකුත් වනසතුන් මෙන්ම ඩොල්පින් තල්මසුන් දැක බලාගන්නටත් ශ්‍රී ලංකාව තෝතැන්නකි. ශ්‍රී ලංකාව වටා ඇති නොගැඹුරු මුහුදු තීරයේදී මෙවන් ජලජ ක්‍ෂීරපායින් පහසුවෙන් දැකබලාගත හැකි අතර එය ශ්‍රී ලංකාව ලැබුවා වූ මහා භාග්‍යයක්‌ බවද නොකිවමනාය.
මාතර මිරිස්‌ස මුහුදු තීරයත්, වයඹ මුහුදේ කල්පිටිය දූපත් කලාපයත් ඩොල්පින්ගේ මෙන්ම තල්මසුන්ගේද "රජදහන" යෑයි කීවාට වරදක්‌ නැත. මෙනිසාම මෙම මුහුදු කලාප අද සංචාරක පාරාදීස බවට පත්ව තිබේ.
රංචු ගැසී සැරිසරන මෙම සතුන්ගේ චමත්කාරය අත්විඳින්නට දිනපතා මෙහි ඇදෙන දේශීය හා වැඩි වශයෙන් විදේශීය සංචාරකයන් නිසාම මිරිස්‌ස සහ කල්පිටිය, කන්දකුලිය ප්‍රදේශ සුවිසල් සංචාරක පිබිදීමකට ලක්‌ව තිබේ.
සංචාරක හෝටල්, බෝට්‌ටු, සේවා සහ අනෙකුත් පහසුකම් සැපයීම් වෙනුවෙන් බොහෝ ලොකු කුඩා ජනයාගේ අතමිට සරුවී ඇති බැවින් අප මෙය දකින්නේ තල්මසුන් සහ ඩොල්පින් මසුන් මෙම ප්‍රදේශයට සංචාරක ව්‍යාපාරයේ ප්‍රතිලාභ සහිත නවෝදය කැන්දාගෙන ආ බවය. හෙවත්, මෙම ප්‍රදේශවල මෙම මසුන් නොගැවසෙන්නේ නම් අනෙකුත් ප්‍රදේශ මෙන්ම මෙම ප්‍රදේශ සංචාරක ව්‍යාපාරයේ අඳුරේ අතපත ගාමින් සිටින ප්‍රදේශ බවට පත්වනු නිසැකය. එවන් විටෙක ප්‍රදේශයට සුවිසල් ආර්ථික ප්‍රතිලාභ අත්කර දෙන මෙම ඩොල්පින් හා තල්මසුන්ගේ ආගමනය ආශිර්වාදයක්‌ කොට ඔවුන් සුරැකීමටත්, තිරසාර ලෙස ඔවුන්ට බාධාවක්‌ නොවන ආකාරයට සයුරේදී කටයුතු කිරීමත් අද අත්‍යාවශ්‍ය කාරණයක්‌ වී තිබේ.

එසේම මෙම ජලජ ක්‍ෂීරපායින් ලොව වඳවී යැමේ තර්ජනයට ලක්‌ව ඇති ජීවීන්ගේ ලැයිස්‌තුවට (රතු දත්ත වාර්තාව) ද ඇතුලත්ව සිටිනා බැවින් ජෛව විවිධත්ව නීති මගින් රක්‍ෂිත ජීවීන් බවට පත්කර ඔවුන්ගේ දිවි හානිකිරීම නීති විරෝධී සහ දඬුවම් ලැබිය හැකි වරද බවට ශ්‍රී ලංකා රජය මගින්ද, එක්‌ එක්‌ රාජ්‍ය මගින් හා ගෝලීය වනසත්ව නීති මගින්ද ප්‍රකාශයට පත්කර ඇත. එනම්, සත් සමුදුර තරණය කොට ශ්‍රී ලංකාවට පැමිණෙන මෙම තල්මසුන් හා ඩොල්පින් සංරක්‍ෂණය කිරීමේ දැඩි වගකීමක්‌ මෙරට රජය මගින් දරනු ලැබේ. එහෙත්, අතීතයේදී බහුලවත් දැන් ඉඳහිටත් රටේ ඇතැම් ප්‍රදේශවලින් ඩොල්පින් මසුන් මසට මරණ අවස්‌ථා වාර්තා වේ. නීති විරෝධී හා දඬුවම් ලැබිය හැකි වරදක්‌ වන නිසා එය බොහෝ රහසිගතව සිදුවන නමුත්, දැන් බොහෝවිට සිදුවන්නේ ධීවරයන්ගේ දැලක අහම්බයෙන් හෝ පැටලෙන ඩොල්පින් වැනි මසුන් වේ නම් මුහුදට දමා පැමිණීමය.

එහෙත් ධීවරයන්ගේ වැරැදි මත්ස්‍ය අල්ලා ගැනීමේ ක්‍රම හා තහනම් පන්න ක්‍රම හේතුවෙන් ඩොල්පින් මසුන් වැඩි වශයෙන් හිතා මතා සංහාරය වන බව කල්පිටිය, කන්දකුලිය, බත්තලංගුණ්‌ඩුව, බාර්රීෆ් ප්‍රදේශවලින් ලැබෙන වාර්තා පෙන්වා දෙයි. මෙයට කදිම නිදසුනක්‌ ඉකුත් ජනවාරි මස අවසන් සතියේදී මාධ්‍යයට වාර්තා විය. එනම් තහනම් ලයිලා දැල් උපයෝගී කරගනිමින් සිදු කරන කෙලවල්ලන් අල්ලාගැනීමේදී සෘජුවම ඩොල්පින් මසුන්ද මෙම දැලට හසුවන බවත් උන්ගේ ජීවිත මෙම දැල හේතුවෙන් විනාශ වන බවත්ය. ඒ මෙම තහනම් දැල් ක්‍රමය හේතුවෙන් කල්පිටිය කන්දකුලිය මුහුදේදී ඩොල්පින් රංචු කිහිපයකටම ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවූ බවද සඳහන් කළ කන්දකුලිය ප්‍රදේශයේ ධීවරයකු සඳහන් කළේ මෙම ධීවරයන්ගේ තහනම් දැල්වලට ගොදුරුව ඩොල්පින් විශාල ප්‍රමාණවලින් මිය යන බවයි. මෙසේ මිය යන ඩොල්පින් මසුන්ගේ සිරුරවලට වැලි බෑග් බැඳ මහුදේ ගිල්වා දමන බවද ඇතැම් විට එම වැලි මලුවල වැලි ඉවත්වී මත්ස්‍ය සිරුරු පාවෙමින් තිබෙනු තමන් ඕනෑ තරම් දැක ඇති බවද මෙම ධීවර කාර්මිකයා "දිවයින"ට පැවසීය.

පසුගියදා මෙහි ෙ€දනීයම අවස්‌ථාවක්‌ වාර්තා විය. එනම්, කන්දකුලිය - බත්තලංගුණ්‌ඩුව ප්‍රදේශයේදී මෙසේ ධීවරයන් පිරිසක්‌ විසින් කෙලවල්ලන් සඳහා එලනලද ලයිලා දැලකට මැදි වූ ඩොල්පින් රෑනක්‌ ජීවිතයෙන් සමුගැනීමය. මෙම අවස්‌ථාවේදී ඒ ආසන්නයේම මසුන් මරමින් සිටි තවත් එක්‌ ධීවර පිරිසක්‌ මෙම සිද්ධිය ඉතා හොඳින් නිරීක්‍ෂණය කර තිබූ අතර දැලට කොටුවී සිටි ඩොල්පින් මසුන් 25 කට වඩා පිරිසක්‌ අල්ලා දැලෙන් ඉවතට දැමීමට තමන් ක්‍රියා කළ බවද තමන්ගේ දැස්‌ ඉදිරියේදී ඩොල්පින් මසුන් 40 කට වඩා මියගිය බවද හෙතෙම සඳහන් කළේය. තමන් ඩොල්පින් මසුන් දැක බලා ගැනීමට කල්පිටියට පැමිණෙන සංචාරකයන් සඳහා මගපෙන්වන්නකු ලෙසද සේවය කරණා බැවින් තමන්ට මෙම අවස්‌ථාව ඉතා වේදනාකාරී වූ බවද පැවසූ මෙම ධීවර මහතා කියා සිටියේ දැලේ පැටලී මියයන ඩොල්පින් මසුන් දැක ඇතිවූ කම්පනය හේතුවෙන් තමන් බෝට්‌ටුව හරවාගෙන නැවතත් වෙරළට ළඟා වූ බවයි. එහෙත්, එහි රැඳී සිටි තමන්ගේ අනෙක්‌ සගයන්ගේ වාර්තා අනුව එදින මත්සයන් 50 කට ආසන්න සංඛ්‍යාවක්‌ මිය ගිය බවද හේ සඳහන් කළේය.

කෙසේ හෝ තහනම් පන්න භාවිතයෙන් මෙසේ එම ඩොල්පින් මසුන් මිය යැම පිළිබඳව පළමු මාධ්‍ය වාර්තා අනුව කල්පිටිය පොලිසිය මගින් අදාළ සැකකරුවන් 9 දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා තිබිණි. මේ පිළිබඳව මාධ්‍යයට කරුණු කියූ බවට සැක කරමින් පෙර සඳහන් කළ ධීවර මහතාට ලයිලා දැල්කරුවන්ගෙන් තර්ජන එල්ල වූ බවද හේ කියා සිටියේය. එහෙත් කල්පිටියේ සංචාරක කර්මාන්තයේ වත්මන් දියුණුවට ඩොල්පින් මසුන්ගේ ආගමනය ප්‍රමුඛතම කාරණය වන බව සඳහන් කරන අදාළ ධීවරයා කියා සිටින්නේ කල්පිටිය, බත්තලංගුණ්‌ඩුව ප්‍රදේශයේ තහනම් දැල් භාවිතයට ධීවරයන්ට ඉඩදීම සම්බන්ධව කල්පිටිය ධීවර නිලධාරිවරයා වගකීම භාරගත යුතුව ඇති බවයි. දිගින් දිගටම සිදු කෙරෙන මෙම තහනම් දැල් භාවිතය පිළිබඳව අනෙකුත් ධීවරයන් කොතරම් පැමිණිලි ඉදිරිපත් කළද ඊට ප්‍රතිචාර නොදක්‌වන මෙම ධීවර නිලධාරීන් ප්‍රදේශයේ පාරිසරික හා ධීවර සම්පත් අධි පරිභෝජනය හා විනාශ වී යැම පිළිබඳව කිසිදු පියවරක්‌ නොගන්නා බවද චෝදනා කරයි.


පුත්තලම් කලපුව, කන්දකුලිය, බාර්රීෆ්, බත්තලංගුණ්‌ඩුව, උච්චමුණිය ආදී ප්‍රදේශවල නොගැඹුරු ජලයේ සිය ගණනක ඩොල්පින් රංචු සැරිසරන අතර, කෙලවල්ලන්ද මොවුන් සමඟ සහජීවනයෙන් දිවිගෙවති. ඊට හේතුව වශයෙන් සලකනු ලබන්නේ ඩොල්පින් රංචු සමඟ විසීමේදී කෙලවල්ලන්ට ආහාර සුලභවීමය. එනිසා කෙලවල්ලන් අල්ලා ගැනීම සඳහා යන ධීවරයන් ඩොල්පින් රෑන් හඹායන අතර, පාලනයක්‌ නැති මුහුදේදී කාටත් හොරා මෙම ධීවරයන් ඩොල්පීන් රංචුවෙත මෙම තහනම් දැල් එළනු ලැබේ. එහිදී සිදුවන්නේ අහිංසක ඩොල්පින් මසුන් තොගපිටින් මිය යැමය. මෙම තත්ත්වය තුළ ඩොල්පින් මසුන් වඳවීයැමේ ශීඝ්‍රතාවය වැඩිවී ඇති අතරම බොහෝ විට ඔවුන් මෙම මුහුදු තීරය අතහැර යැමට හේතුවක්‌ද වනු ඇත. එසේම, ආරක්‍ෂිත සත්ත්වයකු වන ඩොල්පින් මරා දැමීම හේතුවෙන් සංචාරකයින් කලකිරීමද රට නින්දාවට පත්වීමද වලකාලනු නොහැකි වේ. අවසානයේදී කෙලවල්ලන් මාලුත් නැති ඩොල්පින්ගේ චමත්කාරයත් නැති මුහුදු කලාපයත් අපට ඉතිරි වනු ඇත. එබැවින් ධීවර බලධාරීන් මේ පිළිබඳව වහා පියවර ගත යුතුව ඇත. තහනම් පන්න ක්‍රම භාවිතයට ඉඩ නොදිය යුතු සේම නාවික හමුදාව හෝ සහායට ගෙන සයුරේ වැටලීම් සිදු කළ යුතුය. නැතහොත් මේ අනගි සම්පත ශ්‍රී ලංකා සයුරු තෙරෙන් සමුගෙන යැම ඒකාන්තය.

සටහන / ඡායාරූප
ජගත්
කණහැරආරච්චි