Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ලංකාවේ යුද්ධෙන් නිදහස ලැබුනේ ඉන්දීය ධීවරයන්ටද ? – ඉන්දු – ලංකා ධීවර ගැටළුව පිලිබද මහජන සංවාද


වසර ගණනාවක සිට සියළු ආකාරයේ පීඩාවන්ට මුහුණදෙමින් තම ජීවිකාව ගැට ගසාගන්නා උතුරුකරයේ ධීවරයින්ට මෙන්ම වයඹ පලාත ආශ‍්‍රිත කල්පිටිය ධීවර ජනතාවටත්, නැගෙනහිරින් මුහුදු තීරයේ ති‍්‍රකුණාමලය දක්වාත් රැකියාව කරන ධීවර ජනතාවටද අද වන විට ඉන්දීය ධීවරයින්ගේ බලපෑම අතිශය අහිතකර ලෙස බලපා ඇත.

විශේෂයෙන්ම ශ‍්‍රී ලංකා නාවික හමුදාව මෙහි නිරන්තර මෙහෙයුම් සිදු කරන අතර ඔවුනට ඉන්දු – ශී‍්‍ර ලංකා ජාත්‍යන්තර මුහුදු සීමාවෙන් ඉන්දීය ධීවර යාත‍්‍රා ඇතුළුවීම වළකාමින් දේශීය මුහුදු තීරය ආරක්ෂා කර ගැනීමට නොහැකියයි කිසිසේත්ම පිළිගැනීමට අපට නොහැකිය. දකුණු ආසියානු කලාපයේ භූ දේශපාලනික යථාර්ථයන් තුළ ඉන්දීය සාධකයන් මගහැරීමට කිසිවකුටත් නොහැකි නමුත් දේශීය ජනතාවගේ යහ පැවැත්ම කෙරෙහි බලපාන බාහිර සාධකයන්ගෙන් රටේ ජනතාව ආරක්ෂා කර දීම රජයේ වගකීමකි.

එහෙත් රජය මෙම වගකීම මගහරිමින් සිටින තත්ත්වයක් තුළ ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරය විසින් සංවිධානය කළ හා සීමා මායිම් උල්ලංඝණයෙන් සිදුවන ඉන්දු – ශ‍්‍රී ලංකා ධීවර ගැටළුව පිළිබඳ වන ජාතික සම්මන්ත‍්‍රණය මාර්තු මස 01 වනදා කොළඹ නිදහස් මාවතේ ජාතික පුස්තකාල සහ ප‍්‍රලේඛණ සේවා මණ්ඩල ශ‍්‍රවණාගාරයේ පැවැත්විණ.

මෙම අවස්ථාවට උතුරු-නැගෙනහිර සහ දකුණේ ධීවර සංවිධාන නියෝජිතයින් විශාල පිරිසක් සහභාගී විය. මෙහිදී මෙම ගැටලුවේ ස්වභාවය පිළිබද යාපනය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුසෙයි ආනන්දන් මහතා විසින් විස්තරාත්මක පැහැදිලි කිරීමක් කළ අතර උතුරු පළාත් ධීවරයින්ගේ සන්ධානයේ සභාපති එස්. තවරත්නම් මහතා ද අදහස් දක්වන ලදි. ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය වෙනුවෙන් එහි කැදවුම්කරු හර්මන් කුමාර මහතා අදහස් දැක්වූ අතර එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයලත් ජයවර්ධන මහතාද, නවසමසමාජ පක්ෂය වෙනුවෙන් අචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා ද, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණ වෙනුවෙන් මනෝ ගනේෂන් මහතාද අදහස් දක්වන ලදි. මීට අමතරව ද්‍රවිඩ ජාතික සංධානයේ උතුරු නැගෙනහිර පළාත් පාලන ආයතන නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් මෙන්ම එක්සත් සමාජවාදී පක්ෂය මව්බිම ජනතා පක්ෂයේ නියෝජිතයින්ද සම්මන්ත‍්‍රණය ඇමතූහ. මෙම සම්මන්ත‍්‍රණයේ හඩ පට පහත සබැදියාවෙන් ඇහුම් කන් දිය හැක. සම්මන්ත‍්‍රණය පිලිබද වැඩි දුර විස්තර ඉදිරියේදී සමබිම වේබ් අඩවියේ පළ කෙරේ.