Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

කල්පිටිය අරුගම්බේ අතර සී ප්ලේන්



කල්පිටිය සහ අරුගම්බේ අතර සී ප්ලේන් ගුවන් සේවාවක් ආරම්භ කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා පැවසීය. කල්පිටිය ප්‍රදේශයේ හෝටල් ඉදිකිරීමට යෝජිත දුපත් වල සිදු කරණ ලද සංචාරයකින් අනතුරුව පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය ඇමතිවරයා මේ බව පැවසීය. තවදුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා මෙසේද පැවසීය.
ඉදිරියේදී අප රටට වැඩිම විදේශ විනිමයක් අපේක්ෂා කරන්නේ සංචාරක ව්‍යාපාරය තුළින්.ඒ අනුව සංචාරක ව්‍යාපාරය වැඩි දියුණු කිරීමේ වැඩ සටහනක් රජය ආරම්භ කර තිබෙනවා.ඒ අනුව යම් අයෙකු සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ වන්නේ නම් ඒ සදහා අවශ්‍ය සහාය ලබා දෙන්නට රජය සුදානම්. 
ඉදිරියේදී සංචාරක පුරවරයක් බවට පත්වීමට නියමිත කල්පිටිය ප්‍රදේශය වර්තමානයේ සීඝ්‍ර සංවර්ධනයක් කරා ගමන් කරමින් සිටිනවා.පසුගිය කාලයේ මෙම සංචාරක ව්‍යාපාරය පවත්වා ගෙන යාමට මෙම ප්‍රදේශයේ තිබු ප්‍රධානතම බාධක රජයක් වශයෙන් අපි හදුනා ගෙන තිබෙනවා.ඒ අනුව මාර්ග පද්ධතිය,විදුලිය සහසුකම් මෙන්ම ජල සම්පාදන ක්‍රමයන්ද මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඉදිරියේදී විශාල සංචාරකයින් ප්‍රමාණයක් කල්පිටියට පැමිනේවි කියා අපි අදහස් කරනවා.මේ වන විටත් සංචාරකයින් සදහා කල්පිටිය ප්‍රදේශයේ හෝටල් රැසක් ඉදිවී තිබෙනවා.තවත් හෝටල් රැසක් ඉදිවීමට නියමිතව තිබෙනවා.
එමෙන්ම කල්පිටිය කේන්ද්‍ර කරගෙන යම් අයෙක් සංචාරක ව්‍යාපාරයට යොමු වීමට අදහස් කරන්නේ නම් ඊට සහාය වන්නට අපි සුදානම්.ඒ අනුව ආරම්භ කිරීමට යෝජිත ව්‍යාපෘතියෙන් 50% ක නැවත අය නොකරණ ආධාර මුදලක් ලෙස ලබා දීමට රජය සුදානම් වී සිටිනවා. 
දැනට සංචාරකයින් වඩාත්ම ප්‍රියතාවයක් දක්වන කයිට් සර්ෆින් හෙවත් සරුංගල් ක්‍රීඩාවට උචිතම ප්‍රදේශය බවට හදුනා ගෙන ඇත්තේ කල්පිටිය ප්‍රදේශයයි.එමෙන්ම මේ වන විටත් අරුගම්බේ ප්‍රදේශය තුළ කයිට් සර්ෆින් ක්‍රීඩාව සිදු කරනවා.එම නිසා අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා අරුගම්බේ සහ කල්පිටිය අතර සී ප්ලේන් ගුවන් සේවාවක් ආරම්භ කිරීමට. එවිට අරුගම්බේ ප්‍රදේශයට පැමිනෙන සංචාරකයින්ට කඩිනමින් කල්පිටියට පැමිණීමටත්,කල්පිටියේ සිටින සංචාරකයාට අරුගම්බේ ප්‍රදේශයටත් ගමන් කරන්න පුළුවන් කමන් තිබෙනවා. 
එමෙන්ම කල්පිටියට පැමිණෙන සංචාරකයින්ට විල්පත්තුව ජාතික වනෝද්‍යානයට පිවිසීමට අවස්ථාව ලබා දීමටත් රජයේ අදහසක් තිබෙනවා.ඒ අනුව කල්පිටිය කලපුව හරහා බෝට්ටු සේවාවක් ආරම්භ කර සංචාරකයාට වැඩි පහසුකමක් ලබා දීමටයි රජය අදහස් කර ඇත්තේ.ඒ තුළින් මෙරටට පැමිනෙන සංචාරකයින්ට වැඩි පහසුකම් ලබා දීමට රජය අදහස් කර තිබෙනවා. 
මෙම සංචාරයට පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු වික්ටර් ඇන්ටනි මහතා ඇතුළු තවත් කීප දෙනෙකුම සහභාගි විය.
(ඇමතිවරයා ඇතුළු පිරිස කල්පිටියේ දුපත් වල සංචාරය කළ ආකරය සහ කයිට් සර්ෆින් ක්‍රීඩාව සිදු වන ආකාරය ඡායාරූප වලින් දැක්වේ.)
ජුඩ් සමන්ත