Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ශ්‍රී ලංකා මුහුදට එන්නේත් නෑ බොටම් ට්‍රොaලිං ක්‍රමයට මසුන් අල්ලන්නේත් නෑ - ඉන්දීය ධීවරයෝ එකඟ වෙති

ලසිත දුමින්ද

සමුද්‍රීය පරිසර පද්ධතියට හානි පමුණුවන බොටම් ට්‍රොaලිං ක්‍රමයට අනුව මසුන් ඇල්ලීම සහ ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළුවීමෙන් වැළකීමට ඉන්දීය ධීවරයන් එකඟතාව පළ කර ඇත.

තමිල්නාඩු - ශ්‍රී ලංකා ධීවර සංවිධානවල සාකච්ඡාව අනුව ලබන මස (පෙබරවාරි) 10 වැනිදා සිට මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවට ඉන්දීය ධීවරයන් එකඟ වූ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක්‌ "දිවයින"ට පැවසීය.

ශ්‍රී ලංකා පාර්ශ්වයේ යෝජනාවට අනුව බොටම් ට්‍රොaලිං ක්‍රමය නැවැත්වීමට දින 14 ක සහන කාලයක්‌ ඉන්දීය ධීවරයන් විසින් ඉල්ලා තිබේ. එම කාලය තුළ තමිල්නාඩු රජයේ හා ඉන්දියානු මධ්‍යම රජයේ ද සහාය ඇතිව විකල්ප ධීවර ක්‍රමවේද පිළිබඳව අවධානය යොමු කරන බව ඉන්දීය ධීවරයෝ ප්‍රකාශ කර සිටිති.

එසේම වසරකට දින 90 ක්‌ උතුරට පැමිණ මසුන් ඇල්ලීමට අවසර ලබාදෙන ලෙස ඉන්දීය ධීවර සංවිධාන කළ ඉල්ලීම ශ්‍රී ලංකා ධීවර සංවිධාන නියෝජිතයන් ප්‍රතික්‍ෂේප කර ඇත.

තමිල්නාඩුවේ චෙන්නාහි ධීවර අමාත්‍යාංශ කාර්යාලයේ පැවති තමිල්නාඩු - ශ්‍රී ලංකා ධීවර සංවිධාන සාකච්ඡාවේ එකඟතා ලියවිල්ල පෙරේදා (29 දා) ධීවර හා ජලජ සම්පකත් සංවර්ධන අමාත්‍යාංශයේදී ඇමැති රාජිත සේනාරත්න මහතාට භාරදී තිබේ.

ලබන මස (පෙබරවාරි) මෙරටදී යළි දෙපාර්ශ්වය අතර සාකච්ඡාවක්‌ පැවැත්වීමට නියමිතය.

ඉන්දීය ධීවරයන්ගේ පොරොන්දු ගැන විශ්වාසයක්‌ නෑ
- උතුරේ ධීවරයෝ කියති

දිනසේන රතුගමගේ

උතුරු මුහුදු තීරයට අනවසරයෙන් නොපැමිණෙන බවට ඉන්දීය ධීවර නායකයන් ශ්‍රී ලංකාවේ ධීවර නායකයන්ට හා දෙරටේම අමාත්‍යවරුන්ට ලබාදෙන ප්‍රතිඥ කිසිසේත්ම විශ්වාස කළ නොහැකි බව උතුරේ සාමාන්‍ය ධීවර ජනතාව ප්‍රකාශ කරති.

ධීවර අමාත්‍යවරයා හා ශ්‍රී ලංකාවේ ධීවර සමිති නායකයන් පිරිසක්‌ මේ දිනවල ඉන්දියාවේ චෙන්නායි නුවරදී පවත්වනු ලබන සාකච්ඡාවලදී කුමන තීරණයක්‌ ගත්තත් ඉන්දියාවේ තමිල්නාඩු පළාතේ ධීවරයන් උතුරේ මුහුදු තීරයට අනවසරයෙන් පැමිණ මසුන් මැරීමේ කටයුත්ත කිසිවකුටත් නතර කළ නොහැකි බව උතුරේ සාමාන්‍ය ධීවරයන්ගේ විශ්වාසයයි.

ඉන්දීය ධීවරයන් ප්‍රතිඥ කඩකොට අනවසරයෙන් උතුරු මුහුදු තීරයට පැමිණ මසුන් මැරීම සිරිතක්‌ වශයෙන් කරගෙන යන අතර නාවික හමුදාව විසින් ඔවුන් අත්අඩංගුවට ගත් විට ඉන්දීය රජය මැදිහත්වී ඔවුන් නිදහස්‌ කර ගන්නා බව උතුරේ ධීවරයෝ කියති. තත්ත්වය එසේ නමුත් ඉන්දියාවේ අත්අඩංගුවට පත්වන උතුරේ ධීවරයන් නිදහස්‌ කරගැනීමට කිසිවෙකු හෝ ඉදිරිපත් නොවන බවටද ඔවුහු චෝදනා කරති.


Source: www.Divaina.com (31.01.2014)