ගොවියා දිනන දවස

වලවේ ප්‍රදේශයේ ගොවියන් සමූහයක්‌ තමන් වගා කරන කෙසෙල් සහ වීවලට සාධාරණ මිලක්‌ ඉල්ලමින් ඇඹිලිපිටිය නගරයේ උද්ඝෝෂණයක්‌ පැවැත්වූ බවක්‌ දැනගන්නට තිබේ. ඔවුනට වී කිලෝවක්‌ සඳහා ලැබෙන මිල රුපියල් 25 කි. ඇඹුල් කෙසෙල් කිලෝවකට රුපියල් 15 කි. කෝලිකුට්‌ටු කිලෝවකට රුපියල් 45 කි. කොළඹට එන විට සහල් කිලෝවක මිල රුපියල් 60-70 අතර ය. ඇඹුල් කෙසෙල් කිලෝව රුපියල් 60 ක්‌ ය. කෝලිකුට්‌ටු කිලෝවක්‌ රුපියල් 100 ක්‌ ය. බහු ජාතික සමාගම් විසින් ආක්‍රමණය කෙරුණු ලංකාවේ කෙසෙල් වගා ව්‍යාපාරය පටක රෝපිත කෙසෙල්වලින් වැසී යන්නට පටන්ගෙන ඇති මේ සමයෙහි 'සුපර්මාකට්‌වල' මෙන්ම 'පේමන්ට්‌වලද' වැඩි වශයෙන් ඇත්තේ ආනමාලුවල ස්‌වරූපය ඇති කහ පැහැති කෙසෙල් වර්ගයකි. (පටක රෝපිත කෙසෙල් ලෙස හඳුන්වන්නේ ඒවා ය.) මේ නව කෙසෙල් පැතිර යැම නිසා ආනමාලු, කෝලිකුට්‌ටු, ඇඹුල්, පුවාලු, නේත්‍රපලම්, රත් කෙසෙල්, සීනි කෙසෙල් වැනි සාම්ප්‍රදායික කෙසෙල් වර්ග ගොවි බිම්වලින් ඉවත්ව යමින් පවතී, අද සාම්ප්‍රදායික ගස්‌ලබු ඇත්තේම නැත. ගස්‌ලබු වගාකරුවන් වගා කරන්නේ කඩෙන් ඇට මිලට ගෙන වගා කළ හැකි 'රෙඩ්ලේඩි' වැනි ගස්‌ලබු වර්ගයක්‌ පමණි. මේ ගස්‌ලබු ඉතා රසවත් නමුත් ඇට නැත. යළිත් වතාවක්‌ ඒ ගස්‌ලබු වර්ගයම වගා කළ යුතු නම් බීජ කඩෙන්ම ගත යුතුය. සාම්ප්‍රදායික ගස්‌ලබුවලට වැළඳෙන රෝග මේ ගස්‌ලබුවලට වැළඳෙන්නේ නැත. එබැවින් ඒවා වැඩිපුර වගා කිරීමට ගොවීන් තුළ කැමැත්තක්‌ ඇත. එහෙත් නැවත වගාව සඳහා ඇට මිලදී ගැනීම අත්‍යවශ්‍ය නිසා ගොවි ජනතාව දක්‌කනු ලබන්නේ ඇට ගෙන්වන බහු ජාතික සමාගම් වෙතය. පටක රෝපිත කෙසෙල් වර්ග බොහොමයක තත්ත්වය ද මෙයමය. එම කෙසෙල් පඳුරු දමන විට, එම පඳුරු උදුරා වගා කළ පසු ස්‌වල්ප කලකින් වඳ බසී. එනම් පණු උවදුරට ලක්‌වෙයි. මේ නිසා එම කෙසෙල් පැළ කඩෙන්ම ලබා ගත යුතුය. මේ අනුව කඩෙන් බීජ ලබාගෙන කඩේටම අස්‌වනු විකුණන ක්‍රමයක්‌ වෙත අපි නැඹුරු වෙමින් සිටින්නෙමු. මේ ක්‍රමය තුළ ගොවියා යනු බහුජාතික සමාගමේ කුලීකාරයෙකි. ඔහු සමාගමටත් කඹුරයි' වගා බිමටත් කඹුරයි·

වී ගොවියා යනු සෑම කල්හිම අසාධාරණයට ලක්‌වූ කෙනෙකි. ඔහු වැඩවසම් ක්‍රමය පැවති සිංහල රජ කාලයේදීත් අසාධාරණයට ලක්‌ විය. අර්ධ වැඩවසම් ක්‍රමය පැවැති පසු කාලයේදීත් අසාධාරණයට ලක්‌ විය. එදා ඔහුගේ නිෂ්පාදනය රාජ්‍යය විසින් සූරා කන ලදී. අද ඔහුගේ නිෂ්පාදනය හාල් මුදලාලි නොහොත් වී මෝල් හිමියා විසින් සූරා කනු ලැබෙයි. මෙහි අවසන් ප්‍රතිඵලය වන්නේ වගා ණය ගෙවා ගැනීමට බැරිව ගොවියා වස බීමය.

රටක නිෂ්පාදන අතිරික්‌තය මිලදී ගැනීමට වැඩපිළිවෙළක්‌ රාජ්‍යය සතුව තිබිය යුතුය. එහෙත් නිෂ්පාදන ක්‍රියාවලිය මිස නිපදවන බඩු ඉතිරි වුවහොත් කරන්නේ කුමක්‌ ද යන ප්‍රශ්නයට උත්තරයක්‌ රජයට නැත. මෙය මේ රජයට පමණක්‌ නොව සෑම කල්හිම පැවති සෑම රජයකටම තිබූ ප්‍රශ්නයකි. කිරි ගොවීන් කිරි ලීටර් සිය ගණනින් රැගෙන විත් කාණුවලට හලන හැටි රූපවාහිනියෙන් අපි දැක ඇත්තෙමු. තක්‌කාලි වාරයට ගොවියා තක්‌කාලි කිලෝව විකුණන්නේ රුපියල් 2 ට ය. රාබු අස්‌වැන්න කැබලි කර පොහොර වශයෙන් භාවිතා කරන අවස්‌ථා තිබේ. ගොවියා දිනන දවස උදාවන්නේ මේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දුන් විට ය.
 Source:Divaina Editorial