Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

'ජනාධිපතිතුමනි' අවධානය යොමු කරන්න සුදු වෑන් රථයකින් පැහැරගත් සැමියා පිළිබඳ තොරතුරක්‌ නැතැයි බිරිඳ දරු දෙදෙනා සමග උපවාසයේ

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, ඡායාරූප - ධර්මසේන වැලිපිටිය

"මගේ මහත්තයා සුදු වෑන් එකකින් පැහැරගෙන ගිහින් මාස පහක්‌ වෙනවා. කියන්න ඕන හැම තැනකටම ගිහින් කිව්වා. ඒත් වැඩක්‌ වුණේ නැති නිසයි මං දරුවෝ දෙන්නත් එක්‌ක මෙතනට ආවේ. අඩුම තරමින් දැන් මේ ගැන ජනාධිපතිතුමාගේ වත් අවධානය යොමු වුණොත් ලොකු දෙයක්‌..." යෑයි මයුරි ඉනෝකා මහත්මිය ඊයේ (24 වැනිදා) කොටුව දුම්රිය ස්‌ථානය ඉදිරිපිටදී පැවසුවාය.

2013 සැප්තැම්බර් මස 02 වැනිදා අනුරාධපුර ප්‍රදේශයේදී සුදු වෑන් රථයකින් පැහැරගෙන ගිය සිය සැමියා වන මධුෂ්ක හරිස්‌ ද සිල්වා ගැන අනුරාධපුර පොලිසියට පැමිණිලි කර ඇතත් ඔවුන් ඒ ගැන ගණන් නොගන්නා බවද මයුරි මහත්මිය කීවාය.

මධුෂ්කගේ නිවුන් දරු දෙදෙනා වන රනුල්‍යා හංසනී හා රනුල හංසික (මාස 04) යන දෙදෙනා ද අතැතිව ඇය කොටුව දුම්රිය ස්‌ථානය ඉදිරිපිට වාඩිවී සිටින ආකාරය දෙස එතැනින් එහා මෙහා යන දහස්‌ සංඛ්‍යාත ජනතාව මොහොතක්‌ බලා යනු එහි ගිය අපට දැකගත හැකි විය.

"අද අපේ පුතාට සිදුවූ දේ හෙට ඔබේ පුතාට සිදුවිය හැකියි." සුදු වෑන් සංස්‌කෘතියෙන් දෙදරු පියෙක්‌ අතුරුදන් කරයි." වැනි වැකි සහිත පුවරු අතැතිව මයුරි මහත්මියත්, මධුෂ්කගේ වැඩිමල් සොහොයුරු වන සුරංග මහතාත්, පවුලේ අයත් එම උපවාසයේ නිරත වී සිටිනු දැකගත හැකිවිය.

එහිදී තවදුරටත් කතා කළ පැහැරගැනීමට ලක්‌වූ අනුරාධපුර, ගෙවල් 55, අංක 12 නිවසේ පදිංචි මධුෂ්කගේ බිරිඳ මෙසේද කීවාය.

මගේ මහත්තයා පැහැරගෙන ගියාට පසු අපි යන්න ඕන හැම තැනකටම ගියා. අනුරාධපුර මූලස්‌ථාන පොලිසියට අවස්‌ථා ගණනාවකදීම ගියා. පළක්‌ වුණේ නැහැ. මේ පැහැර ගැනීම ඒ අය සතේකට ගණන් ගත්තේ නැහැ. පස්‌සේ අපි මානව හිමිකම් එකට ගියා. වැඩක්‌ වුණේ නැහැ. ජනාධිපතිතුමා අනුරාධපුර බෝධීන් වහන්සේ ළඟට ආපු වෙලාවේ මේ ගැන ලියපු ලියුම එතුමාගේ අතට භාරදුන්නා. ඒකට මොනවා වුණාද දන්නේ නැහැ. මාගේ ස්‌වාමි පුරුෂයා අහිමි වීම නිසා අද මමත්, මාස 4 ක්‌ වයසැති නිවුන් දරු දෙන්නත් දුක්‌ විඳිනවා. මේ කවුරුවත් මගේ මහත්තයා හොයාදෙන්න උනන්දුවෙන්නේ නැති නිසයි මම දරු දෙන්නත් එක්‌ක අනුරාධපුරයේ ඉඳන් කොළඹට ඇවිත් මේ උපවාසයක්‌ ආරම්භ කළේ. ජනාධිපතිවරයාගේ අවධානය දැන්වත් යොමුවෙයි කියලා හිතනවා. මම මේක කාවවත් අපහසුතාවකට පත් කරන්න කරන දෙයක්‌ නොවෙයි. මේක මගේ අසරණ දරු දෙන්නට තාත්තාව හොයා දෙන්න කරන කැපකිරීමක්‌. මධුෂ්ක අහිංසකයි. ඔහු කාටවත් වරදක්‌ කරලා නැහැ. ඔහු කළේ පලතුරු වෙළෙ¹මයි." 
Source:Divaina