Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

කච්චතිව් දූපත මුහුදු තීරය බද්දට ගෙන ඉන්දීය ධීවරයන්ට දීමේ සූදානමක්

කච්චතිව් දූපත අවට මුහුදු තීරය ශ්‍රී ලංකාවට මුදල් ගෙවා බද්දට ගෙන ඉන්දීය ධීවරයන්ට මසුන් ඇල්ලීම සඳහා ලබා දීම පිළිබඳව ඉන්දීය මධ්‍යම රජයේ අවධාරණය යොමුවී ඇත.
මේ සතියේ නව දිල්ලියේ නිල සංචාරයක නිරත වන විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී,එල්. පීරිස් මහතා සමග ඉන්දීය මධ්‍යම රජයේ බලධාරීන් මේ පිළිබඳව සාකච්ඡා කර නව ගිවිසුමක් ඇති කර ගැනීමට අදහස් කරනු ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
දිගින් දිගටම තමිල්නාඩු ධීවරයින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ අත්අඩංගුවට පත්වීම වළක්වාලීම සහ එම ගැටලුවට නිරන්තර විසඳුමක් වශයෙන් මෙවැනි කටයුත්තකට අවතීර්ණ වීමට ඉන්දීය මධ්‍යම රජය අදහස් කරයි. මේ අතර ෆෝක් සමුද්‍ර සන්ධියේ පස්වන දූපත ආසන්න මුහුදු තීරයේ ‘ඉන්දියා’ යනුවෙන් විශාල පුවරුවක් දෙමළ ඉංග්‍රීසි සහ හින්දි භාෂාවෙන් ප්‍රදර්ශනය කිරීමට ඉන්දියාව පියවරගෙන ඇත.
මෙම පුවරුව ඉන්දීය ධීවරයින් මුහුදු සීමා උල්ලංඝනය කර ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළුවීම වළක්වාලීම පිණිස ප්‍රර්ශනය කළ බව තමිල්නාඩුවේ මණ්ඩපම් දිස්ත්‍රික් ධීවර පරිපාලන අංශය ප්‍රකාශ කර තිබේ. තමිල්නාඩු ධීවරයින් කච්චතිව් දූපත යළිත් ඉන්දියාවට පවරාගත යුතු යැයි බල කරමින් සිටින මොහොතක මධ්‍යම රජයේ මෙම යෝජනාවට ඔවුන් එකඟ වේවිද යන්න සැක සහිත බවත් එම වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.
ඉන්දු- ලංකා දෙරට අත්සන් කළ ගිවිසුමක් මඟින් 1974 දී කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට භාර දෙනු ලැබුවේ ඉන්දිරා ගාන්ධි මැතිනිය හා සිරිමාවෝ බන්ඩාරනායක මැතිනිය දෙරටේ අග්‍රාමාත්‍ය ධූරයන් දරන විටය. මේ වනවිට ඉන්දීය ධීවරයින්ට කච්චතිව් දූපත වෙත පැමිණීමට අවසර ඇතත් ඒ අවට ධීවර කර්මාන්තයේ නියැළීමට අවසර නොලැබේ. කච්චතිව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට බවත් එම මුහුදු තීරය ධීවර කර්මාන්තය වෙනුවෙන් උල්ලංඝනය කිරීම නීතිවිරෝධී බවත් ඉන්දීය අධිකරණය විසින් ද තහවුරු කරනුලැබ තිබේ.
කෙසේ වෙතත් ඉන්දීය ධීවරයන් නිරන්තර අත්අඩංගුවට ගැනීම හා ඔවුන්ගේ ජනජීවිතය පිළිබඳ ව නව ඉන්දීය රජය අවධානය යොමුකර ඇති අතර ඒ නිසා ශ්‍රී ලංකා මුහුදු තීරයට පැමිණ මසුන් ඇල්ලීම සඳහා එක් වරකට රුපියල් 10000ක් හෝ වෙනත් ඒ හා සමාන ගෙවීමක් කර බලපත්‍රයක් ලබා ගැනීමට ඇති හැකියාව ගැන මෙහිදී සලකා බලන බව ඉන්දීය බලධාරීන් පවසයි.
තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම්ගේ අවශ්‍යතාව මත එවැනි යෝජනාවක් ඉදිරිපත් කරනු ලබන බව නියෝජ්‍ය ධීවර අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා පවසයි. කෙසේවෙතත් විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ලබන සතියේ සිය ඉන්දීය සංචාරයේ දී ඉන්දීය විදේශ කටයුතු ඇමතිනි සුෂ්මා ස්වරාජ් සමඟ ද්වීපාර්ශවික සාකච්ඡාවල නිරත වීමට නියමිත ව තිබේ.‍