"යහපාලන ආණ්ඩුවේ යහපාලකවරුනි 30ට කලින් අපි කොහෙ යන්නද ? අපි මොකටද එහෙම යන්නේ ? එතකොට කෝ ඔහේලා සම්මත කරගත්ත කැබිනට් තීන්දුව, අධිකරණයෙන් අපිට දුන්න නියෝගය ?? තමුන්නැහැලැ කියපු ඔක්කොම බේගල්වලට කන්දුන්න අපි පිස්සොද ? නැතිනම් රට කරවන ඔහේලා පිස්සොද අධිකරණයටත් , ප්රජාතන්ත්රවාදයටත් පිටුපාලා අපේ ජීවත්වීමේ අයිතිය අහිමි කරන්නට සැළසුම් කොරන්නේ ?"යැයි කළු කොඩි ඔසවාගෙන, මෛත්රි පාලනය ප්රශ්න කරන හා ඊට අභියෝගකරන සටන් පාඨ පුවරු අතදරා සිටි පානම ගැහුණු මිනිස්සු ජුනි 21 වෙනිදා පානම-ලාහුගල ප්රධාන පාරේ සිට විරෝධතාවක් පැවැත්විය.
"මැරයින්" පන්නා "මෛත්රිවරුන්" පත්කර ගත්තේ යළිත් මැර රෙගුලාසිවලට යටත් වෙන්නට නොවන වගත් , මැරවරවරුන් සිදුකළ අධම ක්රියා දුෂ්ට ක්රියා නැති යහපත් නිදහස් සාමකාමි සමාජයක් තුළ යහතින් ජීවත නැවත ආරම්භකරන්නට පමණක් බවත් ඒ අයිතිය තමන්ට හිමිවිය යුතු බවත් ඔව්හු පුන පුනා කෑගසමින් ප්රකාශ කළෝය.
"අපි ඉන්නේ අපිට අයත් ඉඩම්වල මිසක් අනුන්ට අයත් ඉඩම්වල නොවෙයි" යැයි ප්රකාශකරන ඔවුන් මෙපමණ කාලයක් තිස්සේ තමන් විසින්ම පත්කරගත්ත යහපාලන ආණ්ඩුව සමඟ සුහද ශීලිව ගනුදෙණු කළ බවත් ඔවුන් ප්රකාශකළ හැම ප්රකාශක්ම ඉවසීමෙන් දරාගෙන ඉදිරියට පැමිණි බවත් මින් ඉදිරියට එවැනි යහපාලන මුසාවන්ට හසුනොවන්නට වගබලා ගන්නා බවත් ගම්මුන් සපත කළෝය.
ජුනි 30 වෙනිදාට පෙර ඒ කියන්නේ මේ මාසේ 30 වෙනිදාට පෙර, අද සිට තවත් දවස් 09ක් ගෙවීයන්නට මත්තෙන් දැනට තාවකාලික පැල්කොට තනාගෙන සිටින එහෙත් තමන්ට අයත් මුල් ගම්බිම් වලින් ඉවත් ව යන ලෙසට ලාහුගල ප්රාදේශිය ලේකම් එල් ඒ සෝමරත්න විසින් ආණ්ඩුවේ නියෝගයක් නිකුත්කර තිබිණි.
එහෙත්, "මේවා අපේ පාරම්පරික ඉඩම්. අපි ඉපැදුනෙත් ජීවත් වුනෙත් මේ ඉඩම්වල. අපේ අතේ පයේ හය්යෙන් වගාකරගෙන හොඳට ජීවත් වෙච්ච මිනිස්සු. මහින්ද රාජපක්ෂගේ නාමල් රාජපක්ෂගේ මැරයෝ අපිට ගහල වධහිංසා කරලා අපේ ගෙවල් ගිනි තියලා තනිකර යුධපිටියක් බවට අපේ ගම් පත්කරලා අල්ල ගත්තේ අපේ ඉඩම්. ඒ ඉඩම් අපේ වුණාම අපිට කොහෙද යන්න කියන්නේ ? අපි මොකටද එහෙම යන්නේ ? කැබිනට් අනුමැතියකුත් තිබෙනවානම්, අධිකරණ නියෝගයකුත් තිබෙනවානම් තවත් මොන අනුමැතියක් ද ඕනේයි කියන්නේ ? දැන් ඉතිං අපේ ඉවසීමේ සීමාව පැනගෙනයි යන්නේ?" කෙසේවෙතත් අපේ ඉඩම් අයිතිය අපිට හරියාකාරව ලබාදෙන තුරු අපේ සටන අපි අතහරින්නේ නැහැ." යැයි ප්රකාශ කළේ පානම්පත්තුව සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු පුංචිරාල සෝමසිරි මෙන්ම ඉඩම් ලබාගැනීමේ සටන් පෙරමුණේ සිටින පානම දිරිය ගැමියෝ ය.