Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

වෙල්ලස්‌සේ ජන නද වෙල්ලස්‌සේ ජනතාවගේ ඉඩම් ප්‍රශ්නය විසඳෙයිද ?



කංසා වගාවට රජය මැදිහත් වෙයි

ඉකුත් දිනක පළවූ වෙල්ලස්‌ස ජනනද පළමු ලිපියෙන් පෙන්වා දුන්නේ මොනරාගල දිස්‌ත්‍රික්‌කයේ මහා පරිමාණ මට්‌ටමින් නීති විරෝධී ලෙස කෙරෙන කංසා වගාවන් ආරක්‌ෂක අංශ මගින් මහත් පරිශ්‍රමයක්‌ දරා අත්අඩංගුවට ගෙන ගලවා ගිනිතබා විනාශ කරන බවයි. ඒවායේ වටිනාකම කෝටි ගණනාවක්‌ වන බවත් වාර්ෂිකව කෝටි සියගණනක්‌ වටිනා කංසා මෙසේ ගිනි තබා විනාශ කරන බවත් අප සඳහන් කළා. කංසා වගාව නීති ගත කර නීත්‍යානුකූල වගාවක්‌ බවට පත්කර ආයුර්වේද ඖෂධ නිශ්පාදනය සඳහා විදේශීය වෙළඳපොළට ඉදිරිපත් කිරීමෙන් රුපියල් කෝටි ගණනක විදේශ විනිමයක්‌ රටට ලබා ගැනීමට හැකියාවක්‌ ඇති බවත් පෙන්වා දුන්නා. ඊට මේවන විට යහපත් ප්‍රතිචාර ලැබී ඇති බව පෙනී යනවා. එනම් සෞඛ්‍ය ඇමැතිවරයා විසින් ඉකුත් දිනක බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති මාධ්‍ය හමුවකදී පවසා තිබුණේ ආරක්‌ෂක හමුදාව යොදවා කංසා වගාව කරගෙන යැමට සැලසුම් සකස්‌ කරන බවයි.

පවුල් ආරවුල් දෝරේ ගලයි...

පුංචි දෝණිගේ වයස අවුරුදු 08 යි. අම්මයි තාත්තයි රණ්‌ඩුවෙලා අම්ම මේ දෙන්නව දාලා වෙන ගමකට ගියා. දෝණිත් සමඟ තනි වුණ තාත්තා කර ගන්න දෙයක්‌ නැතුව දෝණිත් අරන් මධ්‍යම පළාතේ ගමකට ගිහින් මාස 03 ක්‌ විතර හිටියා. තාත්තා අතින් දරු සෙනෙහස ටිකින් ටික ගිලිහෙන්න පටන් ගත්තා. ආපසු ගමට ආව තාත්තා දරු සෙනෙහස පැත්තකට දාලා දැඩි තීරණයක්‌ ගත්තා. පුංචි දෝණිව යතුරු පැදියේ නංවාගත් මේ තාත්තා අම්මා ඉන්න ගමට ගිහින් ඒ ගෙදර ඉස්‌සරහ මහ පාරේ පුංචි දෝණිව තනි කරලා දාලා ගියා. මහ පාරේ අසරණ වුන දෝණි ඉකි බිඳ බිඳ අඬන්න ගත්තා. මේ සිද්ධිය දැකපු අහල පහළ උදවිය පොලිසියට දැනුම් දුන්නා. පොලිසිය භාරයට ගත්ත දෝණිව අධිකරණය හරහා රුපියල් ලක්‌ෂ 05 ක බැඳුම්කරයකට යටත්ව දෝණිගේ ආච්චි අම්මට භාර දුන්නා. මේ එක සිද්ධියක්‌ පමණයි.

2016 වසර තුළදී මොනරාගල දිස්‌ත්‍රික්‌කයේ පවුල් ආරවුල් 3800 වාර්තාවී තිබෙන බව පොලිස්‌ සංඛ්‍යා ලේඛන වලින් පෙන්වා දී තිබෙනවා. බීමත්කම සහ අනියම් සබඳතා මීට ප්‍රධාන වශයෙන් බලපාලා තිබෙනවා. දෙමාපියන්ගේ විරසක වීම් නිසා අසරණ වුණ දරුවන් විශාල වශයෙන් සිටින බව දකින්නට තිබෙනවා. ආර්ථික ප්‍රශ්න නොගැලපෙන විවාහ දේපළ ප්‍රශ්න අඩු වයසින් විවාහ වීම යන කාරණාත් මේ ගැටලුවට හේතු කාරණා බවට පෙනී යනවා. මොනරාගල දිස්‌ත්‍රික්‌කයේ ග්‍රාමීය පාසල් පිළිබඳව සමීක්‌ෂණයක්‌ කරල බැලුවොත් අම්ම හෝ තාත්තා හෝ එහෙමත් නැත්නම් අම්මයි තාත්තයි දෙන්නම දාල ගිය අසරණ දරුවන් විශාල සංඛ්‍යාවක්‌ ඉන්නවා. මේක අනාගතයේදී බරපතළ සමාජ ප්‍රශ්නයක්‌ බවට පරිවර්ථනය වේවි. මේ අසරණ දරුවො සිටින්නේ එක්‌කෝ ආච්චි ළඟ නැත්නම් සීයා ළඟ. එහෙමත් නැත්නම් වෙනත් ඥාතියකු ළඟ. මේ අයගේ නිසි රැකවරණය පිහිට ආරක්‌ෂාව සහ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නිසි පරිදි සිදු වෙනවාද කියන එක ගැටලු සහගතයි. විශේෂයෙන් නොගැලපෙන විවාහ සහ නිසි කල වයස සම්පුර්ණ වීමට මත්තෙන් කෙරෙන හිතුවක්‌කාර විවාහ ජීවිත තුළ සමාජයේ යථාර්ථය අවබෝධ වන විට ඇතිවන හැල හැප්පිළි නිසා විවාහ ජීවිත දෙදරා යැමේ අවස්‌ථා වැඩිවෙලා තිබෙනවා.

පන්සල් වලත් ගැටලු ...

හාමුදුරුවරු බණට කියන්නේ තෘෂ්ණාව වැඩි නිසා පෘථග්ජන මිනිසා මේ සංසාරයේ ආත්ම ගණන් සැරිසරණ බවයි. ගිහි සමාජයේ පිරිස්‌ අතර පවතින මේ තෘෂ්ණාව නිසා ඇතැම් විට සුළු දෙයකට පවා ජීවිතය මරණයෙන් කෙළවර වන බවයි.

පහළ ඌව වෙල්ලස්‌සේ පන්සල් 425 පමණ තිබෙනවා. මේ හැම පන්සලකම (පිරිවෙන් හැර) භික්‌ෂූන් වහන්සේලා අතක ඇඟිලි ගාණටත් අඩුවෙන් සිටින්නේ. මේ තත්ත්වය මත දානයට බණට පිරිතට හාමුදුරුවරු සොයා ගන්න ගිහියන්ට විශාල වෙහෙසක්‌ දරන්න සිදුවෙලා තිබෙනවා. බොහෝ පන්සල් මේ වන විට වැසී යන තත්ත්වයට පත්වෙලා. සමහර පන්සල් වැහිලා. ශාසනයට අලුතින් ඇතුල් කිරීමට කුල දරුවන් සොයා ගැනීමත් ගැටලුවක්‌ වෙලා. සමහර පන්සල්වල ගැටලු ඇතිවී තිබෙන්නේ විහාරාධිපති තනතුර සඳහා නැත්නම් විහාරාධිකාරි තනතුර සඳහා. මේ විහාරස්‌ථානවල වැඩ ඉන්න ඇතැම් තරුණ හිමිවරු තනතුරු නැතත් පන්සලේ දියුණුවට වැඩ කරන්න කැමතියි දායකයෝ ඉන්නෙත් මේ හාමුදුරුවරුන්ගේ පැත්තේ.. ඇතැම් වයෝවෘද්ධ භික්‌ෂූන් වහන්සේලා තරුණ හිමිවරුන් ඉදිරියට එනවිට අකමැති බවක්‌ පෙන්වනවා. පාසලක ගුරුවරයෙක්‌ කැපී පෙනෙන විදියට වැඩ කරන කොට ඇතැම් විදුහල්පතිවරුන්ට ඒක දිරවන්නේ නැහැ. මොකක්‌ හරි පටලවලා පාසලින් යවා ගන්න උත්සාහ කරනවා. ඇතැම් පන්සල් වලත් එවැනි තත්ත්වයක්‌ උදාවෙමින් තිබෙන බවයි දායක පිරිස්‌ පවසන්නේ. තරුණ කාලයේ අලුත් සිතුවිලි අදහස්‌ නවීන සමාජයට ගැලපෙන විදියට වැඩ කරන්න තමන් සිටින ස්‌ථානය දියුණු කරන්න තරුණ භික්‌ෂූන් වහන්සේලා කැමතියි. ඒකට විහාරාධිපතින් වහන්සේලාගේ අවවාද අනුශාසනා ඇතුව ඒ තරුණ භික්‌ෂූන්ට අවස්‌ථාව ලබාදිය යුතුයි. නමට පමණක්‌ සිමාවුණ පන්සල් තිබිල වැඩක්‌ නැහැ. දැන් ඉන්න දායකයන්ගේ කැමැත්ත පන්සල් දියුණු වෙනවා දකින්න. එහෙම නොවුණ හොත් තරුණ භික්‌ෂු පරපුර සිවුරු හැර යැමේ ප්‍රවණතාවය වැඩිවෙයි. එතකොට ශාසනයේ අනාගතය අවිනිශ්චිතයි. නායක හාමදුරුවරු මේ ගැන සිතා බලනවා නම් හොඳයි. දැනට ඇතැම් නායක හාමුදුරුවරු පන්සල් කිහිපයක විහාරාධිපතිකම දරන බව දායකයෝ පවසනවා. එහෙත් දියුණුවක්‌ දකින්න නැතිලු. ෙත්‍රෙනිකායික මහානායක හාමුදුරුවරුන්ගේ අවධානය මේ කෙරෙහි යොමුවිය යුතු බවටයි දායකයන් අදහස්‌ කරන්නේ. පාරම්පරිකව තනතුරු ලබාදීමේ ක්‍රමය සංශෝධනය කරල ගැටලු ඇතිවී තිබෙන පන්සල් වල දැනට වැඩ ඉන්න තරුණ හිමිවරුන්ට ඒ අවස්‌ථාව ලබාදෙන්න කියලා දායක පිරිස්‌ යෝජනා කරනවා.

මහා සගරුවනට අපහාස කිරීමේ ෙච්තාවෙන් නොව මෙම කාරණා සටහන් කළේ. ඇතිවී තිබෙන තත්ත්වය පැහැදිලි කිරීමටයි. මෙම කාරණා තුළින් අවැඩක්‌ සිදුවී ඇත්නම් මහානායක හිමිවරු අප කෙරෙහි කමා කරත්වා.

පොලිස්‌ අම්මලාගෙන් දුක්‌ ගැනවිල්ලක්‌...

පොලිස්‌ ස්‌ථානවල සේවයේ යොදවා ඇති කාන්තා පොලිස්‌ නිලධාරිනියන් විවිධ රාජකාරි සඳහා යොදවා ඇති බවත් කාන්තාවන් සහ ළමා අයිතීන් සුරැකීමේ ක්‍රියාවලියේදී කැපී පෙනෙන සේවයක්‌ සිදුකරන බවත් පවසනවා. රාජ්‍ය සේවයේ වෙනත් කාන්තා නිලධාරිනියන්ට හිමි පැය 08 රාජකාරි කාලසීමාව ඉක්‌මවා යමින් සමහර අවස්‌ථාවල පැය 12 ක්‌ දක්‌වා සේවය කිරීමට සිදුවීම තුළින් පෞද්ගලික ජීවිතයට ඉන් බලපෑමක්‌ සිදුවී ඇති බව පවසනවා. නිල ඇඳුම ඇන්දට අපිටත් දරු කැක්‌කුම තියෙනවා. දරු සෙනෙහස දැනෙනවා. සමාජයේ අහන්න දකින්න ලැබෙන දේවල් අනුව අපේ දරුවන්ගේ ආරක්‌ෂාව රැකවරණය අපෙන් ඈත්වීම නිසා අනාරක්‌ෂිත බවක්‌ දැනෙනවා. අපි අනිත් අම්මලාගේ දරුවන්ගෙ ආරක්‌ෂාව ගැන හැම වෙලාවෙම සිතනවා. ඒත් අපේ දරුවන්ගේ ආරක්‌ෂාව ගැන කවුද බලන්නේ. ඒ පොලිස්‌ අම්මලගේ දුක්‌බර සිතුවිල්ලයි.

නිළ ඇඳුම ඇන්දත් අපිත් අම්මලා. ආදරය කරුණාව දයාව සෙනෙහස අපේ දරුවන්ටත් අවශ්‍යයි. විවාහක පොලිස්‌ කාන්තාවන් පදිංචි ප්‍රදේශවලින් බාහිර ප්‍රදේශවලට ස්‌ථාන මාරු කිරීමත් මෙම ගැටලුවට හේතුවක්‌ලු. සමස්‌ත පොලිස්‌ අම්මලාට බලපාන ගැටලුවක්‌. පොලිසියේ ලොකු මහත්වරුන්ගේ අවධානය මේ සඳහා යොමු කරවන්න කියලා ඌව වෙල්ලස්‌සේ පොලිස්‌ අම්මලා අපෙන් කාරුණික ඉල්ලීමක්‌ කළා.

ඉඩම් හිමිකම් ලැබෙන ලකුණු...

මේ ඌව වෙල්ලස්‌සේ ඉපදී පරම්පරා ගණනාවක්‌ ජීවත්වන ජනතාවට තමන්ගේ කියලා බිම් අගලක උරුමයක්‌ නැතිව දිවි ගෙවන පවුල් විශාල සංඛ්‍යාවක්‌ සිටිනවා. උපන්දා පටන් මියයන තුරුම මහ පොළොව සමග ඔට්‌ටු වන මේ අහිංසක ජනතාවගේ ඉඩම් සිහිනය සැබෑ කරන්න තමන්ට කියා මහ පොළොවෙ බිම් අගලක උරුමය ලබාදෙන්න ඌව පලාතේ මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා වැඩ පිළිවෙළක්‌ ආරම්භකර තිබීම ඉඩමක අයිතිය අහිමි ගොවි ජනතාවගේ සතුටට කරුණක්‌. අනවසර පදිංචිකරුවන් ලෙස වැදුන ලේබලය ඉවත් කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස්‌ මත තමන් භුක්‌ති විඳින ඉඩමට බලපත්‍රයක්‌ හෝ දීමනා පත්‍රයක්‌ ලබාදී ඉඩමේ අයිතිය පිළිබඳ නිත්‍යානුකූලභාවය තහවුරු කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ඌව මහඇමැතිතුමාට වෙල්ලස්‌සේ ජනනද තුළින් උපහාරය පිරිනමනවා.

අලි වන්දිය වැඩි කරයි...

මොණරාගල දිස්‌ත්‍රික්‌කයේ ආරක්‌ෂිත විදුලි වැටවල් ඉදිකිරීම් පිළිබඳව ප්‍රගති සමාලෝචන රැස්‌වීමක්‌ ඉකුත් දින මොණරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවතුනා. එහිදී තිරසාර සංවර්ධන සහ වනජීවී නියෝජ්‍ය ඇමැතිනි සුමේධා ජී ජයසේන මහත්මිය විසින් පවසා සිටියේ වන අලි ප්‍රහාර වලින් මියයන පුද්ගලයන් සඳහා ලබාදෙන වන්දි මුදල රුපියල් ලක්‌ෂ 05 දක්‌වා වැඩි කිරීමට කටයුතු සැළසුම් කර ඇති බවයි. ඊට අදාළ යෝජනාව තිරසාර සංවර්ධන සහ වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා විසින් කැබිනට්‌ අනුමැතිය සඳහා ඉදිරිපත් කෙරෙන බවද පැවසුවා.

මුලදී අලි ප්‍රහාරවලින් මියගිය අයට ගෙවන ලද වන්දි මුදල වූයේ රුපියල් ලක්‌ෂයක්‌. එය 2016 වසරේචී ලක්‌ෂ 02 දක්‌වා වැඩි කළ බවත් මෙවර එය අමාත්‍ය මණ්‌ඩල අනුමැතිය ලැබුණ පසු ලක්‌ෂ 05 දක්‌වා වැඩි කිරීමට කටයුතු කරන බව තවදුරටත් පවසා සිටියා. ජීවිත හානි සහ දේපළ හානි සඳහා වන්දි ලබා දීමේ ප්‍රමාදයක්‌ පසුගිය කාලයේ පැවති බවත් මෙම තත්ත්වය මඟහැර දැන් දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාල මගින් ඉක්‌මනින් ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා තිබෙන බවත් පැවසුවා.

මොනරාගල විශේෂ - සේපාල මහානාම
Sepalamedia123@gmail.com