Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

සංක‍්‍රමණික ධීවර ගැටලූ පිළිබදව උතුරු දකුණු ධීවර ජනතා සංවාදය

දකුණේ ධීවරයින් උතුරු ප‍්‍රදේශයේ මසුන් ඇල්ලීම හා මුහුද ආක‍්‍රමණය කිරීම උතුරු ධීවරයින්ට හා සුළු පන්න ධීවරයින්ට විශාල ගැටලුවක් බව උතුරු පළාත් ධීවර එකතුවෙ නායක ආලම් සුබ්‍රමණියම් සහ කාන්තාවෝ අදහස් දක්වන ලදී
සංක‍්‍රමණික ධීවර ගැටලූ පිළිබදව උතුරු දකුණු ධීවර ජනතා සංවාදය 2019.09.15 වන දින ජාතික ධීවර සහයෝගීතාවය - මීගමුව ජාතික ධීවර සහයෝගිතා පරිශ‍්‍රය තුළ පැවැත්විණි. ඒ සදහා උතුරේ මෙන්ම දකුණේ ධීවර නායකයින්, ජාතික ධීවර සහයෝගීතා කාර්යාල නිලධාරින් මෙන්ම ධීවර ප‍්‍රජාව නියෝජනය කරමින් සාමාජිකයන් කිහිපදෙනෙකු ද මෙම අවස්ථාවට සහභාගි විය. 
වැඩසටහන ඉදිරියට කරගෙන යාම සඳහා උතුරේ ධීවර නායකයන් සිය අත්දැකීම් බෙදාගන්නා ලදී. එහිදී ප‍්‍රථමයෙන්ම උතුරු පළාත් ධීවරයන්ගේ එකතුවෙහි සභාපති එන්. එම්. ආලම් මහතා සභාව අමතන ලදී. එහිදී ඔහු මෙවන් වූ වැඩසටහනකට සහභාගි වීමට අවස්ථාව ලබා දීම වෙනුවෙන් ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයට ස්තූති කරමින් දකුණේ ධීවරයන්ගේ සංක‍්‍රමණය උතුරේ ධීවරයන්ට තර්ජනයක්ව ඇති බවට කරුණු දක්වන්නට විය. මීගමුව, පුත්තලම වැනි ප‍්‍රදේශවලින් මෙන්ම ඉන්දීය ධීවරයන්ගේ සංක‍්‍රමණයන් ද, තහනම් ආම්පන්න භාවිතා කිරීම ද, ස්වභාවිකය ඇති වන්නා වූ විපත් ද උතුරේ ධීවරයන්ට හා ප‍්‍රජාවට බලපෑම් සහගත ගැටලූකාරී තත්ත්වයන් ඇතිකර තිබෙන බවට පවසන ලදී. වගකිව යුතු බලධාරින් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම සිදු නොවන බවත් එවන් අවස්ථාවක මෙම ප‍්‍රශ්න කෙරෙහි අවධානය යොමු කරමින් හා ඒවාට විසදුම් සෙවීමට ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරය කරනු ලබන්නා වූ සංවාද වැඩසටහන් ඉතා වැදගත් බව ද පවසන ලදී.