Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

මුලතිව් මුහුද ඉන්දියන් ට්‍රෝටර් යාත‍්‍රාවල අනසකට


පැතිර යන නව කොරෝනා වෛරසය නිසා සමස්ත දිවයිනේම ධීවර කර්මාන්තය විනාශ මුඛයට ලන් වෙමින් පවති. මුහුදින් අල්ලා ගත් මත්ස්‍ය අස්වැන්න නිසි සාධාරණ මිලකට විකුණා ගත නොහැකිව අද වන විට මෙරට ධීවරයා අන්ත අසරණ තත්ත්වයකට පත්ව ඇත. මසුන් හරහා කොවීඩ් 19 වෛරසය ශරීර ගත වනවා යන්න අනවශ්‍යය බියක් පසුගියදා පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොල ඇසුරින් අසන්නට වු සිදුවීම පදනම් කරගෙන මෙරට ජනතාව අතර සමාජගත විය. ඒ දුර්මතය මිනිසුන්ගේ හිස්මොල තුළ කිදා බැස ඇති අතර කොවිඩ් වෛරසය මසුන් අනුභව කිරීම හරහා ශරීර ගත වේ යන්න අනවැසි පුස් බියක් ජනතාව තුළ නිධන් ගතව ඇත.
කෙසේ වුවත් මෙවැනි තත්ත්වයක් තුළ උතුරේ හා නැගෙනහිරි ධීවරයාට අනෙකතුත් ධීවරයින් මෙන් මේ තත්ත්වයට සෘජුව මුහුණු දෙමින් සිටි. කොවිඩ් වෛරසයෙන් බැට කන ධීවරයාට ඉන්දියන් ට්‍රෝටර් සංක‍්‍රමණයෙන් ස්වකීය ධීවර සම්පත් අහිමීවේදෝ යන්න බියකින් පෙලීමට ලක් වී ඇත. 

 පසුගිය නොවැම්බර් 10 වන දින මුලතිව් මුහුදු තීරයේ විශාල සංඛ්‍යාවක් ඉන්දියන් ට්‍රෝටර් යාත‍්‍රා පැමිණ ඇති බව මුලතීව් ධීවරයින් දැක ඇති බවත් එම මුලිතිව් ධීවර නායකයින් සදහන් කරති. මුලතිව් දිස්ති‍්‍රක්කයේ ධීවරයින් මේ දිනවල මුහුදයට නොයෑම නිසා මුලතිව් ධීවරයින් හානියක් නොමැති නමුත් මුලතිව් දිස්ති‍්‍රක්කයේ ධීවර සම්පත් මුලුමනින්ම විනාශවීම ඉන්දියන් ට්‍රෝටර් සංක‍්‍රමණයෙන් සිදුවේයැයි මුලතිව් ධීවර නායකයින් සදහන් කරයි.  මේ සම්බන්ධයෙන් ධීවර ඇමතිවරයා හා සමස්ත දේශපාලන යාන්ත‍්‍රණය දැනුවත් කිරීම උදෙසා මුලතිව් දිස්ති‍්‍රක් ධීවර සහයෝගිතා ව්‍යාපාරය 2020 නොවැම්බර් මස 10 වන දින මුලතිව් දිස්ති‍්‍රක් ධීවර නායකයින් එක්ව මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූහ.