Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

 

වසංගතයෙන් වැඩිම බලපෑමට ලක්ව තිබෙන්නෙ මේ රටේ කම්කරු ප්රජාව. ඔබ මේ තත්ත්වය දකින්නේ කෙහොමද

ඔව්, අපදාවන්ට ගොදුරු වීමේ වැඩිම ඉඩක් තිබෙන කණ්ඩායම තමයි වසංගතයෙනුත් පීඩාවට පත් වෙලා ඉන්නේ. මෙවැනි කණ්ඩායම් වලට රැකවරණය සහ ආපදා තත්ත්වයකදි අවශ්‍ය වන සහන ලබා දෙන්න මොන විදියේ සමාජ ආරක්ෂණ පියවරක්ද අපේ රජයට තිබෙන්නේ කියන දේ අපි සලකා බැලිය යුතුයි. තමන්ගේ ශ්‍රමයෙන් මේ රටේ පැවැත්මට දායකවූවන්ට සහනයක් ලබා දෙන්න රජයක් හැටියට තිබෙන වැඩපිළිවෙල සහ සඳහා තිබෙන යාන්ත්‍රණය මොකක්ද කියන එක අපිට මූලිකවම හිතන්න වෙලා තියෙනවා. එවැනි කිසිම යාන්ත්‍රණයක් අපේ රජයට තිබෙන බවක් පේන්න නැහැ. ප්‍රශ්නයට මූණ දෙන්න සිද්ධ වෙලා තියෙන ධීවරයින්, ඇඟලුම් ක්ෂේත්‍රයේ කම්කරු ප්‍රජාව සහ ඊළඟට බලපෑම එල්ලවිය හැකි වතු කම්කරුවන් ගත්තම රජයට මේ අයගේ ශ්‍රමය හරහා විදේශ විනිමය උපයා ගන්නවා හැර ඔවුන්ව ආරක්ෂා කිරීම සඳහා වැඩපිළිවෙලක් තිබිලා නැති බව පැහැදිලියි. ආයතනවලිනුත් ඔවුන්ගේ ශ්‍රමය සූරාකෑම හැර වෙන දෙයක් කරන්නේ නැහැ. කර්මාන්තශාලා මාසයක් වැහුවොත් ඔවුන්ව රකින්න ක්‍රමයක් මේ සමාගම් වලට නැහැ. මේක ඉතාම බරපතල තත්ත්වයක්. රජය වගේම කම්කරු සංවිධාන, වෘත්තීය සමිති, ධීවර සංවිධාන වගේ පිරිස් මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු වෙනවා.

කර්මාන්තයට අදාළව ගත් විට ලංකාවේ දෙවන කොරෝනා රැල්ල ඇති වීමට පෙරත් ගෝලීය වසංගත ව්‍යාප්තිය හමුවේ රැකියා අහිමි වීම්, නිෂ්පාදන මිල පහත වැටීම් ආදිය හේතුවෙන් ධීවර ප්‍රජාව සහ මත්ස්‍ය කර්මාන්තය අර්බුදයකට ලක්ව තිබුනා නේද?

මිනිස්සුන්ගේ ආර්ථීකය බිඳ වැටීමත් එක්ක මත්ස්‍ය ආහාර ලබා ගන්නා අය ඒවා ආහාරයට එකතු කර ගැනීමට විශේෂ අවධානයක් යොමු කළේ නැහැ. මාළු අල්ලන අයගේ ආදායම දියුණු වෙන්න නම් මිනිසුන්ගේ ක්‍රය ශක්තිය දියුණු වෙන්න ඕනි. මාළු කන අයට ආදායමක් නැතිනම් මත්ස්‍ය නිෂ්පාදන කරන අයට ආදායමක් නැහැ. මේක චක්‍රයක් වගේ. වගේම ධීවර කර්මාන්තයේ බහුදින යාත්‍රා කර්මාන්තකරුවන් ප්‍රධාන වශයෙන්ම යැපෙන්නේ යුරෝපය හෝ ජපානය මතයි. නමුත් මේ මොහොත වනවිට අපනයනය විශාල වශයෙන් සීමා වෙලා තියෙනවා. මේ තත්ත්වය තුළ ඒවායෙන් යැපුණ මිනිස්සුන්ගේ ආදායම සීඝ්‍රයෙන් පහත වැටෙන්නට පටන් අරන් තියෙනවා.

මේ කර්මාන්තයේ පසු නිෂ්පාදන හැටියට එන කරවල වේලීම වගේ දේවල් පවා පසුබෑමට ලක්වෙලා තියෙනවා. අද වෙනකොට මාළු වෙළඳපොළේ ඇති වුන තත්ත්වයත් එක්ක මිනිස්සු මාළු කන එක නතර කරලා. ගැටලුව තියෙන්නේ මෙවැනි අවස්ථාවකදි නිෂ්පාදන අයිස් වල හෝ ගබඩා කරලා කල් තබා ගන්න අවශ්‍ය කරන ගබඩා පහසුකම් හෝ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සපයන්න රජය සමත් වෙලා නැති වීමේ.

ජීඑස්පී ප්ලස් සහනය හිමිවෙන්නේ කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන අතරම වෙළෙඳාම දියුණු කර ගන්න. නමුත් ජීඑස්පී ප්ලස් සහනය හිමිවෙන ප්‍රධානම නිෂ්පාදන ක්ෂේත්‍රයන් දෙකක කම්කරු ප්‍රජාවට හරහා කිසිදු ප්‍රතිලාභයක් හිමි නොවන බව මේ හරහා පෙනෙන්න තිබෙන්නෙ?

පැහැදිලිවම ඔව්, ජීඑස්පී ප්ලස් සහනය හරහා සිද්ධ වුන වෙළෙඳපොළ ප්‍රසාරණයෙන් කර්මාන්තකරුවන්ට විශාල ප්‍රතිලාභ හිමිවුනත් කම්කරුවන්ට කොයිතරම් දුරට එහි ප්‍රතිලාභ ලැබුනද කියන එක මේ ඇතිවුන තත්ත්වයෙන්ම වටහා ගන්න පුළුවන්. ඇඟලුම් ක්ෂේත්‍රයේ කම්කරුවන් ධීවරයින් අද වෙද්දි මේ වසංගතයෙන් වැඩිම පීඩාවට පත් ජනකොටස බවට පත් වෙන කොට ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන් රජයට වගේම ආයතන සහ සාමාගම්වලටත් කිසිදු වගකීමක් දරන්න නොහැකි වෙලා තිබෙනවා. විශාල අපනයන ආදායමක් රටට ලබා දෙන කම්කරු ප්‍රජාව වෙනුවෙන් අඩුම තරමේ මූලික අවශ්‍යතාවයක් වෙන ආහාර ටික ලබා දෙන්නවත් රජයට වැඩපිළිවෙලක් නැහැ. නිසා ඇත්තටම මානව හිමිකම් ආරක්ෂා කර ගන්න ජීඑස්පී ප්ලස් සහනය හරහා යම් හයියක් ලැබුනත් අනෙක් පැත්තෙන් ලැබුණු ආර්ථික ප්‍රතිලාභ කිසිදු ආකාරයකින් පහළට ගලාගෙන ගිහින් නැහැ.

විශේෂයෙන්ම ධීවර ඇතුළු කම්කරු ප්‍රජාව වෙනුවෙන් ඔබ මොනවද ආණ්ඩුවට යෝජනා කරන්නේ?

පළමුවෙන්ම මේ කම්කරුවන්ට ජීවත් වෙන්න තියෙන අපහසුතාවයන් හඳුනගෙන ඒවා වෙනුවෙන් ක්‍රියාමාර්ගයක් ගන්න කියන එක. නවාතැන්, ආහාර, සුරක්ෂිතතාව මේ අයට අහිමි වෙලා තිබෙනවා. මේ අනාරක්ෂිත තත්ත්වය මඟහරවා ගන්න අවශ්‍ය මූලිකම පහසුකම් ටිකවත් සලසන්න රජය ක්‍රියා කළ යුතුයි.

වගේම රජය සහ ජනමාධ්‍ය දැන් දැන් උත්සාහ ගනිමින් ඉන්නවා කොවිඞ් දෙවැනි රැල්ලක් මතු වෙන්නෙ ධීවර ප්‍රජාව ඉන්දියාවෙන් කහ, කේරල ගංජා වගේ දේවල් ගේන්න ගිහින් බව කියන්න. ඉන්දියාවත් එක්ක ගනුදෙනු කරන ආසන්නතම ස්ථානය වෙන්නේ මන්නාරම, යාපනය වගේ ප්‍රදේශ. නමුත් කොවිඩ් ව්‍යාප්තිය වැඩිපුර තියෙන්නෙ ගම්පහ ප්‍රදේශයෙයි. එවැනි තත්ත්වයක් යටතේ රජය සහ මාධ්‍යකරුවන්, ධීවරයෝ මෙයට සම්බන්ධ කරන්න ගන්න උත්සාහයට පදනමක් නැහැ. අසත්‍ය ප්‍රචාර හරහා මේ කම්කරුවන්ගේ සහ ධීවරයන්ගේ ජීවිත සහ රැකියා අනතුරේ හෙළන්නේ නැතුව මෙහි සත්‍ය සොයන්න කියලයි අපි ඉල්ලන්නේ.

ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ කැඳවුම්කරු හර්මන් කුමාර සමඟින් ජයනි අබේසේකර සමබිමට කරන ලද සංවාදයකි