Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ණය බරින් මිරිකී ලංකාවේ කාන්තාවන් සිය ගණනකගේ ජීවිත හානි

   

 

ගිනි පොලී ණය ගෙවා ගැනීමට නොහැකිව පීඩාවට පත්ව සිටින ලක්ෂ සංඛ්‍යාත ලාංකික කාන්තාවන්
වෙනුවෙන් යුක්තිය ඉල්ලා ජගත් කාන්තා දිනයේ දී උතුරු මැද පළාතේ  ආරම්භ කළ සත්‍යග්‍රහය තුන්වැනි දිනයත් ක්‍රියාත්මකව පවති. 
 
මේ වන විට ණය පීඩාව නිසා දිවයිනේ සිය ගණනක් දිවි නසාගෙන ඇති බව සංවිධායිකාවෝ පවසති. 
 
ක්ෂුද්‍ර මූල්‍ය ණය වහා අහෝසි කරන ලෙස රජයට බලකරමින් හිඟුරක්ගොඩ නගරයේ රාජ ස්මාරකය ඉදිරිපිටදී ආරම්භ කළ උපවාසය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා මේ වන තෙක් කිසිදු බලධාරියෙක් නොපැමිණි බව ක්ෂුද්‍ර ණය හේතුවෙන් විපතට පත්වූ කාන්තා එකතුවේ කැදවුම්කාරිණියක වන රේනුකා කරුණාරත්න මාධ්‍යවේදින් හා පවසා තිබේ.
 
ඔවුන් පවසන පරිදි ණය බර උසුලාගත නොහැකිව ලාංකික කාන්තාවන් දෙසීයකට අධික පිරිසක් සියදිවි හානිකරගෙන තිබේ. 
 
අධික පොලිය හේතුවෙන් ණය වාරික ගෙවා ගත නොහැකිව සිටින විසිහතර ලක්ෂයකට අධික මෙරට කාන්තාවන්ට මුල්‍ය සමාගම් සහ ණය එකතු කරන නිලධාරීන්ගේ නින්දා අපහාස ඇතුළු නොයෙක් ආකාරයේ ශාරීරික, මානසික හිංසාවලට ලක් වීමට සිදුව ඇති බවත් එම එකමුතුව පෙන්වා දෙයි.
  
"බොහෝ කාන්තාවන් ක්ෂුද්‍ර ණය ගෙවීම පිණිස තවත් විකල්ප යැයි තෝරාගත් මාර්ගවලින් ණය ලබාගෙන මේ වන විට ණය ජාලාවක සිර වී සිටියි. මෙවන් පීඩාවන් මධ්‍යයේ බොහෝ කාන්තාවන් ණය ගෙවීම සදහා තමන්ගේ කන කර, ගේ දොර ඉඩ කඩම් ගෙදර බඩු මුට්ටු විකුණා ඇත. තවත් අය තමන් ජීවත් ව සිටින නිවස පවා උකස් කර ක්ෂුද්‍ර ණය ගෙවීමට උත්සාහ දරා ඇත," යි ක්ෂුද්‍ර  ණය හේතුවෙන් විපතට පත්වූ කාන්තා එකතුව නිකුත් කළ නිවේදනයක සඳහන්ය.
 
එම සංවිධානය  වැඩි දුරටත් පවසන්නේ උපයන ආදායම ණය ගෙවීමට යෙදවීම සම්බන්ධයෙන් ඇති වන පවුල් ආරවුල් හේතුවෙන් කාන්තාවන් රාශියක් ගෘහස්ත හිංසනයන්ට ගොදුරු වී ඇති අතර මේ ආශ්‍රිත හේතු නිසා 200 ට ආසන්න පිරිසක් සිය දිවි හානි කරගෙන ඇති බවයි.
 
පාලකයන් අඛණ්ඩව තම දේශපාලන බල අපේක්ෂාවන් වෙනුවෙන් ක්ෂුද්‍ර මුල්‍ය ණය වින්දිතයන් බරපතල රැවටීමකට හා මුලාවකට ලක් කොට ඡන්දය කොල්ල කාගෙන තම පැවැත්ම තහවුරු කරගත් බවටත් ක්ෂුද්‍ර මුල්‍ය ණය පීඩිත කාන්තාවෝ චෝදනා කරති.
 


 

ආණ්ඩුව වගකීම මගහැරලා  :
 
ඔවුන් අවධාරණය කරන්නේ බිම් මට්ටමේ ආර්ථික කටයුතු මෙන්ම දරිද්‍රතාවය දුරලන ක්‍රියාවලියෙන් රජය ඉවත් වී ඒ වගකීම ලාභය මුලික කරගත් මුල්‍ය අංශයට පැවරීම ක්ෂුද්‍ර ණය අර්බුදයට ප්‍රධානතම හේතුව බවයි.
 
වහාම මැදිහත් වී මෙම ණය කපාහැර කාන්තාවන් පත්ව සිටින අසීරු තත්වයෙන් මුදවාලන ලෙස ඔවුහු රජයෙන් ඉල්ලා සිටිති.
 
ඔවුන් තව දුරටත් රජයට බල කර  සිටින්නේ මුල්‍ය අංශය නියාමනයට නීති සකස් කර මුල්‍ය පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමට කටයුතු යොදන ලෙසයි.
 
ලාභ ලැබීමේ අභිප්‍රායෙන් සිදුකරගෙන යන ක්ෂ්‍රද්‍ර ණය සේවා වෙනුවට කුඩා නිෂ්පාදකයන්ගේ ආර්ථිකය නගා සිටිවිය හැකි සමුපකාර වැනි යාන්ත්‍රණයන් ඇති කිරීමට පහසුකම් සලසන ලෙසත් ඔවුහු රජයෙන් ඉල්ලා සිටිති.
 
"ක්ෂුද්‍ර ණය හේතුවෙන් විපතට පත්වූ කාන්තා එකතුව" විසින් පවත්වන අඛණ්ඩ සත්‍යග්‍රහයේ මුලික ඉල්ලීම් පහකි.
 
01.සියලු ක්ෂුද්‍ර මුල්‍ය ණය අහෝසි කරනු!
 
02.කොල්ලකාරී ක්ෂුද්‍ර මුල්‍ය ණය පිළිබද විගණනයක් කරන තුරු සියලු ණය අය කර ගැනීම වහා නවතනු!
 
03.ක්ෂුද්‍ර මුල්‍ය ණය වින්දිතයන්ට එරෙහිව ගන්නා වු සියලු නීති ක්‍රියාමාර්ග නවතනු !
 
04.ක්ෂුද්‍ර මුල්‍ය ණය වින්දිතයන් අසාදු ( ක්‍රිබ්)ලේඛනයෙන් වහා ඉවත් කරනු !
 
05.ගැතිබවින් තොර සමාජ විමුක්තිය කේන්ද්‍රකරගත් කාන්තාවන් සතු මුල්‍ය ක්‍රමයක් ස්ථාපිත කරනු!
  
ක්ෂුද්‍ර ණය හේතුවෙන් විපතට පත්වූ කාන්තා එකතුවේ සභාපතිනි ප්‍රියන්තිකා කුමාරි මාධ්‍යවේදීන් සමග පවසා ඇත්තේ සිය ඉල්ලීම් රජය විසින් ඉටු කරන තෙක් සත්‍යග්‍රහය අත් නොහරින බවයි.
 
" රජය විසින් එයට ඇහුන්කන් දී  එය කරන තෙක් අපි සත්‍යග්‍රහය  පවත්වන බව පවසනවා. "
 
(සේයා - ඒ. විමුක්ති  ද සිල්වා)