Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

සුළු ආහාර නිෂ්පාදනයේ යෙදෙන කාන්තාවන් මුහුණ දෙන ගැටලු හා විසඳුම් යෝජනාවලිය, ඌව වෙල්ලස්ස කාන්තා සංවිධානය - මොනරාගල

ආහාර යනු මිනිස් අයිතිවාසිකමකි. ආහාර ස්වෛරීත්වය ගොඩනැගීම මිනිස් අපගේ වගකීමක් හා යුතුකමකි. ආහාර ස්වෛරීත්වයේ ප්‍රමුඛ මෙන් ප්‍රබල භුමිකාවක් කාන්තාවට ද ඇත. කාන්තාව උපතින්ම ආහාර ස්වෛරීත්වය දරා සිටින්නියක් වන අතර ඇය ආහාර සඳහා පෝෂදායි ආහාර සඳහා කරන කැපවීම අගය නොකළත් ආහාර අයිතිය තහවුරු කරන්නට සුළු නිෂ්පාදකයින්ගේ අයිතිය තහවුරු කරන්නට ඇයගේ දායකත්වය අගය කළ යුතුමය. මේ ආකාරයෙන් ආහාර අයිතිය, ආහාර ස්වෛරීත්වය හා ආහාර සුරක්‍ෂිතතාවය පිළිබඳව කතා බහට ලක් වන මෙවන් කාලයක සුළු ආහාර නිෂ්පාදනයේ යෙදෙන කාන්තාවන් මුහුණ පාන ගැටලු සම්බන්ධයෙන් රාජ්‍ය යාන්ත්‍රණය දැනුවත් කිරීම මොනරාගල දිස්ත්‍රික්කයේ ඌව වෙල්ලස්ස කාන්තා සංවිධානයේ සහභාගිත්වයෙන්  ලියවිල්ලක් වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී 2021 ඔක්තෝම්බර් 18 වන දින ඌව වෙල්ලස්ස කාන්තා සංවිධානයේ සභාපති කේ.පී.සෝමලතා මහත්මියගේ සහ සම්බන්ධිකාරිකා ප්‍රේමලතා මහත්මියගේ මූලිකත්වයෙන් බාර දෙන ලදී.

මෙම ලියවිල්ල සඳහා වෙහෙරෙයාය ජනපදය, රන්දෙණිගොඩයාය, හඳපානාගල නෙළුවගල, සිරිපුරගම යන වසම්වල සුළු ආහාර නිෂ්පාදනයේ යෙදෙන කාන්තාවන්ගේ ගැටලු පදනම් වු අතර කොවිඩ් 19 වසංගත කාල සීමාව තුළ ඉතා අවාසනාවන්ත ලෙස සුළු ආහාර නිෂ්පාදකයින්ගේ ආදායම් මාර්ග කඩා වැටුණු බව මෙම ලියවිල්ලේ සඳහන් කෙරෙණි. එමෙන්ම, ඔවුන් විසින් සුළු පරිමාණ ආහාර නිෂ්පාදනයේ යෙදෙන කාන්තාවන් මුහුණ දෙන ගැටලු පහත අයුරින් සඳහන් කොට ඇත. එනම් නිෂ්පාදනවල මිල අස්ථාවර වීම, සාධාරණ මිළකට අලෙවි කර ගැනීමේ අපහසුව, යොදන පිරිවැයට වඩා ආදායම අඩු වීම, ආර්ථික මට්ටම පහත වැටීම, ණය ගැතිභාවය පවුලේ අවශ්‍යතා ප්‍රමාණවත්ව ඉටු කර ගැනීමට ඇති නොහැකියාව, වගා කරන දේ පිළිබඳව තීරණ ගැනීමට නොහැකියාව, කේවල් කිරීමේ නොහැකියාව සහ අලි මිනිස් ගැටුම සඳහන් කළ හැක.