Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

 

මැතිවරණ ප්‍රතිඵල උඩු යටිකුරු කළ හැකි දියඹේ 

පාවෙන ධීවර ඡන්ද – රනුජ සිතුමික

ගිනියම් වූ හිරු, ක්ෂිතිජ ඉම ගිලී ගියේ ය. අඳුර කෙමෙන් කෙමෙන් මුළු පරිසරය ම වෙළා ගනිමින් ඇත. මාසයක්, මාස එක හමාරක් දියඹේ දිවි ගෙවීමට අවැසි බඩු මල්ල ද කරට ගත් 57 හැවිරිදි ඩබ්ලිව්.පී.මහින්දරත්න, සුපුරුදු පරිදි ට්‍රෝලර් යාත්‍රාවට නැඟුණේ ය. දළ රළ ගෙඩි එක පිට එක වදිමින් බිඳෙන හඬ සවන් පත් අතර දෝංකාර දෙමින් වියැකී ගියේ ය.
“හෙට ජනාධිපතිවරණය. මොනවා වෙයි ද දන්නෙ නෑ.”ට්‍රෝලර් යාත්‍රාවේ සිටි සගයන් සිවු දෙනාගෙන් කෙනෙක් මහින්දරත්න දෙසට හැරෙමින් පැවසුවේ ය.
“අවුරුදු තිහක ඉඳන් ධීවර රස්සාව. මේ කාලය ඇතුළත මට ඡන්ද 10ක් 15ක් විතර මඟහැරුණා. මුහුදු යන්න ගත්තට පස්සේ ඡන්දෙ දැම්මේ දෙපාරයි. මට නම් ඡන්දෙ මඟහැරුණා කියලා දුකක් නෑ. ඊට වැඩිය මට රස්සාව වටිනවා. අපව කාටවත් වටින්නෙ නෑනෙ. ඒ නිසා අපි, අපට වටින රස්සාව කර ගෙන ජීවත් වෙනවා. ධීවරයො කවුරුත් ඡන්දය කියලා රස්සාවට නොගිහින් බලන් ඉන්නෙ නෑ. ඡන්දය අයිතියක් කිවුවට අපිත් ජීවත් වෙන්න එපායෑ. අපට නම් ඡන්දය ගැන උනන්දුවක් ඇත්තේම නෑ. වගකිව යුත්තන්ටත් අපේ ඡන්දය ලබා ගන්න වැඩපිළිවෙළක්වත්, උනන්දුවක්වත් නෑ. අපි දියඹට යන්න කලින් තැපැල් ඡන්ද ක්‍රමයක් වගේ ගෙනාවොත්, ධීවරයො ඡන්දෙ දෙයි. එහෙම නැතිව අපට ඡන්ද අයිතිය දෙන්න කියලා, අපි නම් කෑ ගහන්නෙ නෑ. ”

 


ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ග අතුරින් එකක් ලෙස ධීවර කර්මාන්ත‍ය හැඳින්විය හැකි ය. මෙරට ධීවර කර්මාන්තය, මහද්වීපික තටකය ඇතුළත හා වෙරළෙන් ඔබ්බේ ගැඹුරු මුහුදේ සිදු කෙරේ. එනම්, වර්ග කිලෝමීටර් 2,32,00ක් පමණ වන මුහුදු ප්‍රදේශයක, මෙරට ධීවරයෝ මසුන් සොයා යති. තනි දින සහ සාම්ප්‍රදායික ක්‍රම ඇසුරින් මත්ස්‍ය සම්පත සොයා යන ධීවරයන් මෙන් ම, මෙරට වට කර ඇති ධීවර වරාය විස්සකින් බහුදින ට්‍රෝලර් යාත්‍රා (multi day trawlers)මඟින් දින 20, මාසය හෝ මාස එක හමාරක් වැනි කාලයක් හෝ ඈත දියඹේ දිවි ගෙවමින්, මත්ස්‍ය සම්පත නෙළන ධීවරයන් ද අපේ ධීවර ප්‍රජාව අතර වේ.
2018 ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු දත්ත අනුව, මෙරට ඇති ට්‍රෝලර් යාත්‍රා සංඛ්‍යාව 4602කි. ජනතාවගේ පෝෂණ තත්ත්වය උසස් කිරීම, කලාපය තුළ සේවා නියුක්තියක් ඇති කිරීම, ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයා දීමට දායක වීම, ජාතික ධනය වැඩි දියුණු කිරීමට දායක වන මෙරට ධීවරයාට, තම රැකියාව නිසා ම අහිමිව යන මානව හිමිකම් අපමණ ය. දින ගණනක් පුරා, ඈත දියඹේ දිවි ගෙවන බැවින්, මැතිවරණයක් පැවැත්වෙන බොහෝ අවස්ථාවල, සිය අගනා ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොලැබීම, එලෙස අහිමිව යන එක් හිමිකමකි.
අපේ රටේ මැතිවරණ පනත සැකසුණේ 1981 වසරේ දී ය. මෙරට බහු දින ධීවර කර්මාන්තය ඇරැඹුණේ 1994 වසරේ දී ය. තනි දිනයේ ධීවර කටයුතුවල නිරත වන ධීවර ජනතාවට, ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව අහිමිව ගොස් නැත. එම අවස්ථාව අහිමිව ඇත්තේ, බහුදින ධීවර ප්‍රජාවට වීම, මෙහි ඇති විශේෂත්වයකි.
ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටකි. ප්‍රජාතන්ත්‍රවාදයේ දී, සියල්ලෝම පාලන බලයට සහභාගි විය යුතු ය. ඒ සඳහා ඇති එක ම ක්‍රමය ඡන්දය භාවිත කිරීම ය. ඡන්ද දායකයන් සියල්ලන්ට ම පාලකයා තෝරා ගැනීමට අවස්ථාව ලැබෙනවා යනු, ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් වෙනවා යන්නයි. පිරිසකට මැතිවරණ ක්‍රමවේදයට සම්බන්ධ වීමට නොලැබෙනවා යනු, ප්‍රජාතන්ත්‍රවාදය නිසි පරිදි ක්‍රියාත්මක නොවනවා යන්න ය. ධීවර ප්‍රජාවට රැකියා කටයුතු නිසා සිය ඡන්ද අයිතිය අහිමි වන බව, බේරුවල ධීවර වරායෙන් දියඹට යන බහු දින ධීවර ප්‍රජාව ඇසුරු කර ගනිමින් කළ මේ දත්ත විග්‍රහය සාක්ෂ්‍ය දරයි.


ඩිලාන් අසේල, සුමුදු නිලාන්, මොහොමඩ් හිල්මි, ටිරෝන් කුරේ, මොහොමඩ් නියාස්, සුජාන් රන්දික, ඇන්ටන් ප්‍රදීප්, මොහොමඩ් ෆතිහි, ජූඩ් කුරේ, ලසන්ත පීරිස් යන බහුදින ධීවර ජනතාව ඇසුරින් කළ පර්යේෂණ දත්ත අනුව, ඔවුන් ගෙන් සියයට සියයක් ම මැතිවරණය සහ ඡන්ද ප්‍රකාශන අයිතිය පිළිබඳ අවශ්‍යතාවක් නැති බව පවසයි. එයට ප්‍රධාන හේතුව, ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා තමන් නිවාඩු දමා කැපවී කටයුතු කිරීම නිෂ්ඵල ක්‍රියාවක් ලෙස සැලකී ම ය.
“අපට ජීවත් වෙන්න පුළුවන් රැකියාවට ගියොත් විතරයි. ඡන්දය ගත්තට පස්සේ දේශපාලනඥයො මිනිස්සු ගැන හිතන්නේ නෑ. මෙතෙක් අපට කිසි ම සහනාධාරයක් ලැබිලා නෑ. සහනාධාර දෙන්නෙත් බෝට්ටු හිමිකරුවන්ට විතරයි. දේශපාලනඥයො අපේ ඡන්දය අරන් පාර්ලිමේන්තු ගියාට පස්සේ, අප වගේ ප්‍රජාව ගැන හොයලා බලන්නේ නෑ. අපි නොසලකා හැරපු පිරිසක් වගේ. ”ඔවුහු පවසති.
පසු ගිය මැතිවරණ දිනයේ දී බේරුවල ධීවර වරායෙන් දියඹට ගොස් සිටි ධීවර පිරිස ආසන්න වශයෙන් 3500කි. ඒ අනුව බලන විට එක ධීවර වරායකින් දළ වශයෙන් ඡන්ද 3500ක් හෝ ඊට අඩු ගණනක් හෝ වැඩි ගණනක් මැතිවරණ දිනයේ දී අහිමි විය හැකි ය. එම ඡන්ද ප්‍රමාණය ධීවර වරාය 20ක් ලෙස ගෙන බැලූවිට අවම වශයෙන් රට වටේම ඡන්ද 25,000ක්, 30,000ක් වැනි ප්‍රමාණයක් අහිමිව යන්නේ නම්, එය සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයකි. එනම්, මැතිවරණයකට බලපෑම් කළ හැකි ප්‍රමාණයකි.


මේ ධීවර ජනතාව ගෙන් සියයට 90ක් ම පවසා සිටියේ,‘තමන්ට ඡන්දය තිබුණත් එකයි නැතත් එකයි, ඒ ගැන උනන්දුවෙන් හොයන්නේ නෑ. ඒත් මුහුදු යෑමට මසකට පමණ කලින් අවස්ථා දෙකකදී වත් පූර්ව මැතිවරණ ක්‍රමයක් ලෙස තමන්ට ඡන්දය දැමීමට ලැබේ නම්, ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකියි’යන්න ය. එය, ඡන්ද මධ්‍යස්ථානයක් කේන්ද්‍ර කර ගෙන පවත්වන්නේ නම්, එය තමන්ට ආසන්න දුරකින් තිබේ නම්, ඡන්ද අයිතිය පිළිබඳ සලකා බැලීමට ඔවුන් සූදානම් බව ය.
වසර විසි තිස් ගණන් දියඹට ගිය තමන්ට, මේ වනවිට අවස්ථා ගණනාවක් ම ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොලැබුණු අතර, මෙතෙක් තම ඡන්ද අයිතිය අහිමි වීම පිළිබඳ කිසිවෙකුවත් තමන් ගෙන් විමසා නැති බව ද ඔවුහු පවසති. මේ පර්යේෂණය සම්බන්ධයෙන් දත්ත ලබා ගැනීමේ දී කළ විමසීම හැර, තමන්ගේ ඡන්ද අයිතිය වෙනුවෙන් කිසි ම වෘත්තීය සමිතියක් හෝ දේශපාලනඥයකු හෝ වගකිව යුත්තකු විමසා නැති බව ද ඔවුන් පවසා සිටී. මොහොමඩ් හිල්මි පවසන පරිදි, මැතිවරණ දිනයක දී රට වටෙන් ම අහිමි වන ධීවර ඡන්ද ප්‍රමාණය සලකා බැලූවිට, එය ජනාධිපතිවරණයක දී සියයට දෙසියයක් බලපෑම් කළ හැකි ඡන්ද ප්‍රමාණයකි. මැතිවරණයක දී එක ඡන්දයක් හෝ අහිමිව යන්නේ නම්, එය ද මානව හිමිකම් අහිමිව යෑමකි.
ශ්‍රී ලංකාව තුළ වෘත්තීය හේතු මත ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන බහු දින ධීවර ජනතාව වෙනුවෙන් පූර්ව ඡන්ද භාවිතය හඳුන්වා දීමේ වැදගත්කම පිළිබඳ, ලෝක ධීවර සම්මේලනයේ හිටපු මහ ලේකම් සහ එහි වත්මන් නියෝජිත හර්මන් කුමාර මහතා පවසන්නේ මෙවැනි අදහසකි.
“අපේ රටේ මිරිදිය ධීවර ප්‍රජාව 50,000කට වැඩියි. එක් දින සහ බහුදින ධීවර කර්මාන්තයේ නියැළී සිටින කරදියේ මත්ස්‍ය සම්පත නෙළන ධීවර ජනතාව 1,50,000ක්. සාමාන්‍යයෙන් ට්‍රෝලර් යාත්‍රාවක 4ක් හෝ 5ක් හෝ 6ක් හෝ ධීවර කටයුතු සඳහා ධීවරයන් ගමන් ගන්නවා. ඒ අනුව දිනකට මුහුදේ දිවි ගෙවන ධීවර ප්‍රජාව 20,000ක්. සෑම මැතිවරණයක දී ම ශ්‍රී ලංකාව පුරා ම වෙසෙන ධීවරයන්ගේ වටිනා ඡන්ද 10,000ත්, 15,000ත් අතර ප්‍රමාණයක් අහිමිව යනවා. එම ඡන්ද ප්‍රමාණය අහිමි වෙන්නේ මුළු රටෙන් ම නිසා, වගකිව යුත්තන් මොවුන්ගේ මේ ඡන්ද අයිතිය ගැන එතරම් ම අවධානයක් යොමු කරන්නේ නෑ. ධීවර ප්‍රජාව, තමන්ට ඡන්ද අයිතිය තිබුණට, ඡන්දය පාවිච්චි කරන්න වැඩි අවධානයක් යොමු කරන්නෙත් නෑ. ඒ අය පුරවැසි අයිතිය ගැන හිතන්නේ ම නෑ. ඒ ගැන ඒ අයට දැන ගන්න ඕනෙත් නෑ. ඒ අය ප්‍රමුඛතාව දෙන්නේ ඡන්දය ගැන නෙවෙයි, ජීවන අරගලය ගැනයි. බහුදින ධීවරයන් ගැන කතා කරන්න, ඒ අයට ලොකු ධීවර සංගම් නෑ. ධීවර කාර්මිකයන්ගේ සංගම් නෑ. තියෙන්නේ යාත්‍රා හිමිකරුවන්ගේ සංගම් විතරයි. කොටින් ම කියතොත් ධීවරයන්ට ලොකු හඬක් නෑ.


ධීවරයන්ගේ ඡන්දය කියන්නෙත් ඡන්ද අයිතිවාසිකමක්. අයිතිවාසිකමක් කිසි ම විටෙක නොමිලේ ලැබෙන්නේ නෑ. ඒ සඳහා ඉල්ලීමක් කරන්න ඕනැ. ධීවර වෘත්තීය සමිති පවා මේ කාරණය සාකච්ඡා කරලා නෑ. අපේ රටේ ධීවරයො කියන්නේ නොසලකා හැරපු කොටසක්. ධීවර සමිති තිබුණට ඡන්ද අයිතිය නොවෙයි; වෘත්තීය අයිතිය ගැනවත් උනන්දුවක් දක්වන්නේ, කතා කරන්නේ නෑ. ප්‍රජාතන්ත්‍රවාදී රටක් විදියට ධීවර ඡන්ද අයිතිය ආරක්ෂා කරනවා නම්, ඒ සඳහා පැකේජයක් හඳුන්වා දීම වඩාත් හොඳයි. රජයේ සේවකයන්ට වගේ තැපැල් ඡන්ද ක්‍රමය මොවුන්ටත් හඳුන්වා දීම වඩාත් සාර්ථක ක්‍රමයක් වේවි. ”
මුහුදේ දී අතුරුදන් වූ ධීවරයන්ගේ මාපිය අඹුදරු සංවිධානයේ සභාපති, පී.එම්.කීර්තිපාල මහතා සඳහන් කරන පරිදි, මැතිවරණයක දී ඡන්දය දමන්නේ, ධීවරයන් ගෙන් සියයට පහක් පමණි.
“ධීවරයන් කලකිරිලා ඉන්නේ. ඒ නිසා ඒ අය ඡන්දය දාන්න කැමැති නෑ. බහු දින ධීවරයො මුහුදු නොගියත්, ඡන්දය දාන්න යන්නේ නෑ. මේ අයගෙ ඡන්ද අයිතිය ලබා දිය යුතුයි කියලා දේශපාලන පක්ෂවලින් තවම මතයක් ගොඩනැඟිලා නෑ. ධීවර සංවිධාන විදියට අපි මැදිහත් වෙන්නේ, ජනතාවගෙ ඉල්ලීමක් තිබෙනවා නම් විතරයි. ඒ අය අහන්නෙ, රස්සාව කැප කරලා ඇවිදින් ඒ අය වෙනුවෙන් ඡන්දය දැම්මා කියලා අපට ලැබෙන්නෙ මොනව ද? කියලයි. ඒකට හේතු වෙලා තියෙන්නෙ, ලැබෙන හැම සහනාධාරයක් ම ලැබෙන්නේ ධීවරයන්ට නොවෙයි; බහු දින ධීවර යාත්‍රා හිමියන්ට වීම නිසයි.
බහු දින ධීවර ප්‍රජාවගේ අයිති රැක දීම සඳහා, රජය ඔවුන් සමඟ සාකච්ඡා කර තීරණයකට ආ යුතුයි. 1994 වසරෙ ඉඳලා අප ධීවර ප්‍රතිපත්තියක් හදලා, ධීවර ඇමැතිවරු හතර දෙනකුට ඉදිරිපත් කර තිබෙනවා. ධීවරයන්ට නිසි අයිතිය දිය යුතුයි කියලා අප එහි සඳහන් කර තිබෙනවා. නිසි අයිතිය කිවුවාම, ඡන්ද අයිතියත් අන්තර්ගතයි. ප්‍රජාතන්ත්‍රවාදය තුළ ධීවරයාට ඡන්ද හිමිකම ලැබිය යුතුයි.
මේ මිනිසුන්ගේ අයිතිය අහිමි වෙලා නොවෙයි; අහිමි කරලයි තියෙන්නේ. ඒ නිසා, පූර්ව මැතිවරණ ක්‍රමයකට යනවා නම්, ඒ සඳහා අපේ රටට ඔබින්නේ තැපැල් ඡන්ද ක්‍රමය කියන එක මගේ අදහසයි. පූර්ව මැතිවරණ ක්‍රමයකට යෑමට නීති ප්‍රතිපාදන සැකසෙනවා නම්, බහුදින ධීවරයන් පිළිබඳ සංගණනයක් කරලා, ධීවර අමාත්‍යංශය හරහා මේ කටයුත්ත සඳහා පහසු ක්‍රමවේදයක් සැකසීමට පුළුවන්. ”
මැතිවරණ කොමිසමේ එක් තේමා පාඨයක් වෙන්නේ, ‘කිසිදු ඡන්ද හිමියකු අත් නොහැරෙන මැතිවරණ ක්‍රියාවලියක්’යන්න ය. ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරමින්, ධීවර ප්‍රජාවගේ අයිතිය ඉදිරියේ දී යථාර්ථයක් බවට පත් කිරීමට කළ යුත්තේ කුමක් ද? යන්න පිළිබඳ, ධීවර සංස්ථාවේ හිටපු සභාපති සහ වත්මන් මැතිවරණ කොමසාරිස්, නීතිඥ නිමල් පුංචිහේවා මහතා සිය අදහස් පළ කළේ මෙසේ ය.


“ධීවර ප්‍රජාවට විතරක් නොවෙයි; අත්‍යවශ්‍ය සේවාවල යෙදෙන්නන්, සංක්‍රමණිකයන් වැනි බොහෝ පිරිසකට ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා. මේ වෙද්දි, තැපැල් ඡන්ද දීම පුළුල් කරන්න කියලා පාර්ලිමේන්තු කාරක සභාවට ඉදිරිපත් වෙලා තිබෙනවා. මේ අතුරින් ධීවරයො සම්බන්ධයෙන් ගත්තොත් වෙනමම ක්‍රමවේදයක් සැකසිය යුතුයි. රැකියාව නිසා ම, මේ රටේ ඡන්ද අයිතිය අහිමි වී සිටින ප්‍රජාවට, ඡන්දය භාවිත කිරීමේ මානව හිමිකම හැකිතාක් දුරට පුළුල් කරන්න ඉදිරියේ දී අවස්ථාව ලැබෙයි. ඒ සඳහා ක්‍රමවේදය සකස් කිරීම පිළිබඳ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවේ දී සාකච්ඡා කරයි. සියලු දෙනාගේ ම ඡන්ද අයිතිය හිමිකර දීම සඳහා, මැතිවරණ නීති සංශෝධනය විය යුතුයි. ඒ සඳහා, පාර්ලිමේන්තු පනත් සංශෝධනයක් සිදු විය යුතුයි.
මෙතෙක් කිසි ම ධීවර සංගමයක්, ධීවර වෘත්තීය සමිතියක්, දේශපාලන පක්ෂයක් බහුදින ධීවරයන්ගේ ඡන්ද අයිතිය ලබා දෙන්න කියලා ලිඛිතව ඉල්ලීම් කර නෑ. ඒත්, බහු දින ධීවර යාත්‍රා හිමිකරුවන් සමහර අවස්ථාවල පැවැත්වූ රැස්වීම්වල දී, බහු දින ධීවර ප්‍රජාවගේ මේ මානව හිමිකම ලබා දෙන්න කියලා අපෙන් ඉල්ලීම් කර තිබෙනවා. ධීවරයන් වෙනුවෙන් ලබා දිය යුතු පූර්ව ඡන්ද ක්‍රමය කුමනාකාර එකක් ද? කියලා අප මෙතෙක් තීරණයකට ඇවිත් නෑ. ඒ අය මාස එක හමාරක් විතර මුහුදේ සිටින නිසා, ප්‍රායෝගික ගැටලුවක් තිබෙනවා. ඒ නිසා, ඒ අය වෙනුවෙන් ක්‍රමවේදයක් සකසද්දි, බොහෝ සීමා ඇතිවෙයි. ”
මැතිවරණයක දී එක ඡන්දයකින් මැතිවරණ ජයග්‍රාහකයා තීරණය විය හැකි ය. එසේ නම්, ඡන්ද 20,000ක් යනු සුළුපටු ප්‍රමාණයක් නොවේ.
ලෝකයේ බොහෝ රටවල, ඡන්ද දායකයන්ගේ අයිතිය තහවුරු කර තිබේ. අජඨාකාශගත වූවන්ට පවා ඡන්දය භාවිත කිරීමට අවස්ථාව ලබා දීම, ඒ අයිතිය තහවුරු කරන එක් අවස්ථාවකි. ඉන්දියාව වැනි රටවල, ස්ථිර පදිංචියක් නැති, මහමඟ වෙසෙන්නන් මෙන් ම, අවතැන් වූවන් සඳහා ඡන්ද අයිතිය හිමි කර දීම, ඡන්දය ලබා දීමේ මූලික අයිතිවාසිකම තහවුරු කරන අවස්ථාවකි. දකුණු කොරියාව ධීවරයන්ගේ ඡන්ද අයිතිය තහවුරු කරමින්, මුහුදේ සිට ඡන්දය ලබා දීමට මඟ සැකසීම, ධීවර ප්‍රජාවගේ ඡන්ද අයිතිය තහවුරු කළ අවස්ථාවකි. එසේ නම්, ශ්‍රී ලංකාව වැනි සුළු ජනගහණයක් වෙසෙන, අනෙක් රටවලට සාපේක්ෂව සුළු ධීවර ප්‍රජාවක් සිටින රටකට, බහු දින ධීවර ප්‍රජාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් වන ඡන්ද හිමිකම ලබා දීම, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමකි.
නැඟෙනහිර අහස ළා රත් පැහැයෙන් බැබළෙමින්, නුබ ගැබ අමුතු සිතුවම් මවමින්, තවත් නැවුම් දවසක් උදා වූ බව පසක් කරමින් ඇත. මහින්දරත්න සහ සගයන් සිවු දෙනා රැගත් ට්‍රෝලර් යාත්‍රාව, ප්‍රදීපාගාර ආලෝකයට අවනත වෙමින්, ගොඩබිම වෙත යාත්‍රා කරමින් සිටී.