Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

අතුරුදන්වූවන් හා මියගිය අයගේ රැස්වීමේදි ගැටුමක්

2014 අගෝස්තු 05 10.52a.m
උතුරු නැගෙනහිර යුද්ධයෙදී අතුරුදන්වූ හා මියගිය අයගේ සංවිධානයේ පිරිසක් සහභාගි කරවා ගනිමින් ඊයේ (4) දින පස්වරුවේ සමයික කේන්ද්‍රයේ පැවැති රැස්වීමකට පිරිසක් කඩා වැදීම නිසා ඇති වූ නොසන්සුන්තාවය මරදාන ‍පොලීසියේ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් සමථයකට පත් කර ගැනීමට හැකිවිය.
 අතුරුදන්වූවන්ගේ මාපිය එකමුතුව සංවිධානයේ නිමල්කා ප්‍රනාන්දු සහ බ්‍රිටෝ ප්‍රනාන්දු යන අයගේ ප්‍රධානත්වයෙන් හා රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් එක්ව ඊයේ (4) දින මරදාන සාමයික කේන්ද්‍රයට උතුරු නැගෙනහිර යුද්ධයෙන් අතුරුදන් වූවන්ගේ හා මියගිය පවුල්වල සාමාජිකයින්ගේ රැස්වීමක් සංවිධානය කර තිබුණි.
පස්වරු 3.00ට පමණ ආරම්භ වූ මෙම රැස්වීමට උතුරු නැගෙනහිර යුද්ධයේ මියගිය හා අතුරුදන් වූවන්ගේ සංගමයේ පිරිසක් සමග සංඝයා වහන්සේලා පිරිසක් එම ස්ථානයට පැමිණ ඔවුන් ප්‍රකාශ කළේ එම යුද්ධයෙන් මියගිය හා අතුරුදන් වූවන් සමස්ත සියලු දෙනා වෙනුවෙන් තම සංවිධානය කටයුතු කරන බැවින් මෙවැනි රහස් රැස්වීම් වහා නවත්වන ලෙසයි.
 ඒ සමග ඇති වූ කලබැනියට ගැටුමක් බවට පරිවර්ථනය විවර කර මරදාන ‍පොලීසියට පැමිණ එය සමථයට පත් කර දෙපිරිසේම නියෝජිතයන් රැසක් මරදාන ‍පොලීසියට ගෙන්වා තත්ත්වය පිළිබඳව විමසීමත් සිදුකරන ලදී.
 මරදාන ‍පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක සරත් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විමසුම පවත්වන ලදී.
 එහිදී ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කළේ තමන්ට ලැබුණු පැමිණිල්ලක් මත එහි ගොස් සිදුවීමට ගිය තත්ත්වය සමථයකට පත් කළ බවත් දෙපිරිම එහි කැඳවූයේ මේ පිළිබඳ විමර්ශනයකට බවයි.
 මේ අනුව ස්ථානාධිපතිවරයා දෙපාර්ශ්වයෙන්ම කරුණු විමසූ අතර රැස්වීම කැඳවූ පාර්ශ්වය කියා සිටියේ මේ පිළිබඳව ‍පොලීසිය වෙත තවත් පැමිණිලි 2ක් කිරීමට තිබෙන බවත් ඉන් අනතුරුව තමන් උසාවි ක්‍රියා මාර්ගයකට යාමට අපේක්ෂා කරන බවයි.
 ඔවුන්ගේ සංවිධානය වෙනුවෙන් නීතිඥවරුන් 5 දෙනකු සහ බ්‍රිටේ‍රා් ප්‍රනාන්දු සහ දේවස්ථානයෙන් පියවරුන් දෙදෙනකු ද රාජ්‍ය නොවන සංවිධානයක නියෝජිතයන් කිහිපදෙනකුද සහභාගි වූහ.
 රැස්වීමට අයතු ලෙස ඇතුළු වූ පාර්ශ්වයෙන් ධර්මදීප පුවත් පතේ නිර්මාතෘ අගුළුවැල්‍ලේ ජිනානන්ද හිමියන් සමග හිමිවරුන් දස දෙනෙක් හා උතුරු නැගෙනහිර යුද්ධයෙන් මියගිය හා අතුරුදන් වූ පවුල්වල සංවිධානයේ සභාපති හා ‍ලේකම්වරයා ඇතුළු නියෝජිතයන් කිහිපදෙනකු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
 ඉන් අනතුරුව මාධ්‍යයට අදහස් දැක්වූ පූජ්‍ය අගුළුවැල්‍ලේ ජිනානන්ද හිමි ත්‍රස්ත්‍රවාදී යුද්ධයෙන් මියගියේ හා අතුරුදන් වූයේ උතුරු නැගෙනහිර පළාත් වල දෙමළ ජනතාව පමණක් නොවේ. සමස්ත ශ්‍රී ලංකාවේම සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් අප රටේ ජීවත් වූ විශාල පිරිසකට ඒ ඉරණම අත් වුණා.
 ඒ නිසා ඔවුන් හැමදෙනා වෙනුවෙන් අප සංවිධානය ඒකරාශීව කටයුතු කරද්දී එන්.ජී.ඕ. එක්ව සංවිධානය පිහිටුවා කරන මෙවැනි රහස් සාකච්ඡා පිළිබඳව වගකිව යුත්තන් සොයා නොබැලීම කනගාටුවට කරුණක් බවයි.
 එම සංවිධානය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයෙකු ‍පොලිස් ස්ථානාධිපතිවරයා හමුවේ කියා සිටියේ තම සේවා යෝජකයන් එකතැනට රැස්ව සිටියේ රතු කුරුස සංවිධානයේ රැස්වීමකට බවයි. එම රැස්වීමට පැමිණ කඩාකප්පල් කාරී ලෙස හැසිරීමට විරුද්ධව අධිකරණ ක්‍රියා මාර්ගයකට යන බවයි.
 රැස්වීම් පැවැත්වූ බොරැල්‍ලේ සාමයික කේන්ද්‍රය පරීශ්‍රයට ඇමෙරිකන් තානාපති කාර්යාලයේ වාහන කිහිපයක් හා නියෝජිතයන් රැසක් පැමිණ සිටි බව දක්නට ලැබුණි.
Source:
Lakbima Online 


දේශෙද්‍රෝහී බලවේග රටට එරෙහි කුමන්ත්‍රණයක
- අතුරුදන් වූවන්ගේ දෙමාපිය එකමුතුව කියයි


සමන් ගමගේ

මෙරටට එරෙහිව පත්කර ඇති ජිනීවා විමර්ශන මණ්‌ඩලය වෙත එල්ටීටීඊයේ සිටියදී අතුරුදන් වූ හා මියගිය ත්‍රස්‌තයන්ගේ තොරතුරු ලබාදීමට ඔවුන්ගේ ඥතීන්ට පමණක්‌ අවස්‌ථාවට ලබා දෙමින් දේශෙද්‍රෝහී බලවේග හා ඇමරිකාව ඇතුළු ඇතැම් තානාපති නිලධාරීන් සමස්‌ත ශ්‍රී ලාංකිකයනට එරෙහි විශාල කුමන්ත්‍රණයක්‌ සිදු කරමින් සිටින බව මියගිය හා අතුරුදන් වූවන්ගේ දෙමාපිය එකමුතුව සඳහන් කරයි.

දිගින් දිගටම සිදුවන මෙකී බරපතළ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීම සඳහා පෙරේදා (05 වැනිදා) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී එම එකමුතුවේ අනුශාසක අඟුලුගල්ලේ සිරි ජිනානන්ද හිමියෝ මේ බව අවධාරණය කළහ.

මෙරට ක්‍රියාත්මක දේශෙද්‍රෝහී රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් කිහිප දෙනකු ඇමරිකාව ප්‍රධාන බටහිර රටවල් කිහිපයක තානාපති නිලධාරීන්ගේද සහාය ලබා ගනිමින් උතුරේ එල්ටීටීඊ මහවිරු පවුල්වල පිරිසක්‌ කොළඹට ගෙන්වා ඉකුත් 04 වැනිදා මරදාන සමාජයීය සහ සාමයික කේන්ද්‍රයට කැඳවා සිදු කරනු ලැබුවේ එම කුමන්ත්‍රණයේ තවත් අදියරක්‌ ක්‍රියාවට නැංවීම බවද උන් වහන්සේ පැවසූහ.

මෙහිදී මරදාන සමාජයීය හා සාමයික කේන්ද්‍රයට කැඳවනු ලැබූ උතුරේ කොටි මහවිරු පවුල්වල සාමාජිකයන් යොදවාගෙන ජිනීවා විමර්ශන මණ්‌ඩලයට නවීන තාක්‍ෂණය ඔස්‌සේ සාක්‍ෂි ලබාදීමක්‌ සිදු කෙරුණු බවද ජිනනාන්ද හිමියෝ කීහ.

මෙම තත්ත්වය හමුවේ මියගිය හා අතුරුදන් වූවන්ගේ දෙමාපිය එකමුතුව ලෙස තම තමන් ඇතුළු පිරිසක්‌ද අදාළ අවස්‌ථාවට සහභාගි වීමට එහි ගියද දේශෙද්‍රෝහී සංවිධායක පිරිස්‌ එය වැළකු බවද ඒ හිමියෝ පැවසූහ.

මෙරට මියගිය හා අතුරුදන් වූවන්ගේ ඥතීන් බහුතරය නියෝජනය කරනු ලබන තම සංවිධානයට ඒ සඳහා අවස්‌ථාව ලබා නොදීමට අදාළ සංවිධායකයන් කටයුතු කරනු ලැබුවේ පැහැදිලි ලෙසම රටට එරෙහි කුමන්ත්‍රණයක්‌ එහි සිදු කෙරුණු නිසා බවද වැඩිදුරටත් සඳහන් කළ ජිනානන්ද හිමියෝ ඉකුත් 2011 වසරේ සිට නීත්‍යනුකූල ලෙස ක්‍රියාත්මක තම සංවිධානය එවන් දේට කිසිසේත්ම ඉඩක්‌ නොතබන්නේ යෑයිද පැවසූහ.

මෙහිදී අදහස්‌ දැක්‌වූ මියගිය හා අතුරුදන් වූවන්ගේ දෙමාපිය එකමුතුවේ කැඳවුම්කරු ආනන්ද ජයමාන්න මහතා දේශෙද්‍රෝහීන් කුමන්ත්‍රණකාරි ලෙස කටයුතු කළද ශ්‍රී ලංකාවට එරෙහිව ගනු ලබන ජාත්‍යන්තර තීන්දුවකදී සියලු ශ්‍රී ලාංකිකයන්ට එකසේ දඬුවම් විඳීමට සිදුවන බව පෙන්වා දුන්නේය.

එහෙයින් මේ තොරතුරු විමසීමක්‌ සිදු කෙරෙන්නේ නම් තානාපති නිලධාරීන්ට අවැසි ලෙස තෝරාගත් පාර්ශ්ව වෙතින් නොව සියලු පාර්ශ්ව නියෝජනය වන සේ එය සිදුවිය යුතු යෑයිද ආනන්ද මහතා පැවසීය.

දේශෙද්‍රෝහී බලවේග සහ තානාපති නිලධාරීන් රටට එරෙහි කුමන්ත්‍රණ සිදු කරද්දී ආරක්‍ෂක අංශ මෙන්ම විදේශ කටයුතු අමාත්‍යංශය කුමක්‌ කරන්නේදැයි ගැටලුවක්‌ වී තිබෙන බවද ඒ මහතා කීය.

එහිදී මියගිය හා අතුරුදන් වූවන්ගේ දෙමාපිය එකමුතුවේ සභාපති ගම්ලත් ආර්. මුදියන්සේ මහතාද අදහස්‌ දැක්‌වීය.


Source: Divaina