Home » » පොල්පිතිගමට කරදර ගේන වන ජීවියේ අලි කොරිඩෝව

පොල්පිතිගමට කරදර ගේන වන ජීවියේ අලි කොරිඩෝව

Written By NAFSO on Friday, June 17, 2016 | 9:36:00 AM

අසේල කුරුළුවංශ    ප්‍රසාද් පූර්ණමාල්    දිනමිණ



මේ අලි කන්නේ තේක්ක කොළද?
කිසිදු අවස්ථාවක රැකියා ඉල්ලා රජයට බලපෑම් නොකර ස්වශක්තියෙන් නැගීසිටි පරම්පරා තුනකට අයත් ගම්වැසියෝ තම දෑතීන් අස්වැද්දූ වගාබිම් අහිමිව යාදෝයි යන සැකය මත අද සිටින්නේ මහත්වූ කනස්සල්ලෙනි.
සමඟි පෙරමුණු රජය සමයේ රටේ අවශ්‍යතාවට සිරිලන ආහාර රට තුළම නිපදවා ගැනීමේ අරමුණ පෙරදැරිව ක්‍රියාත්මක කළ වගා සංග්‍රාම වැඩසටහන යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ විශාලතම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයවන පොල්පිතිගම කේන්ද්‍රකර ගනිමන් පවුල් අටසීයකට ආසන්න සංඛ්‍යාවක් පදිංචිකර වසර 45 ක් ගතව තිබේ. එදා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රජය විසින් ඉදිරිපත් කළ යෝජනාවත් සමඟ සරුබිම් නොවූ තම ‍ඉඩම් අත්හැර ඔවුහූ ‍පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන නවයක පදිංචි වූයේ එහිවූ සරුබිම තම ජීවිත එළිය කරන බව සහසුද්දෙන් දැනගෙනය.
මඩහපොළයාය,වළගම්බාපුර,ඉරුදෙණියාය,බඹරගලයාය,තෙළඹුඇළ,මහපිටිය,රැකෑවුල,ඇරැහැපොළයාය,කට්ටම්බේරිය යන ගම්මානවල පදිංචිවූ ඔවුහූ රෑදවල් වෙහෙසවී තම ඉඩම් කෘෂිකාර්මිකව සංවර්ධනය කළේ පරම්පාරාවෙන් පරම්පරාවට ඒවාහි අයිතිය සුරක්ෂිතවනු ඇතැයි යන විශ්වාසව පෙරදැරිවය. මුඩුබිම් ලෙස පැවති භූමියේ පොල්, කෙසෙල්, අඹ, පැපොල් පමණක් නොව ලීක්ස් හා කැරට් හැර සෙසු සියලු එළවළු වර්ගද වගාකෙරිණි. ගෝවා, බීට්, බණ්ඩක්කා, වැටකොළු, තක්කාලි, බටු ඇතුළු එළවළු කිලෝග්රෑම් 75000-100000 ත් අතර ප්‍රමාණයක් දෛනිකව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත සැපයීමට මෙම ගම්වැසියෝ සමත්ව සිටිති.
කිසිදු අවස්ථාවක රැකියා ඉල්ලා රජයට බලපෑම් නොකර ස්වශක්තියෙන් නැගීසිටි පරම්පරා තුනකට අයත් ගම්වැසියෝ තම දෑතීන් අස්වැද්දූ වගාබිම් අහිමිව යාදෝයි යන සැකය මත අද සිටින්නේ මහත්වූ කනස්සල්ලෙනි. ඒ ගම්මාන හරහා කහල්ල පල්ලේකැලේ අභයභූමියේ සිට හත්වටුනාව වැව දක්වා ඉදිකෙරෙනු ඇතැයි කියන අලි කොරිඩෝවක් හේතුවෙනි.
මෙම අලිකොරිඩෝව ඉදිකිරීම සඳහා මර්ගය විවෘතව ඇත්තේ 1989 වසරේදී රජය විසින් මෙම ගම්මාන කහල්ල පල්ලේකැලේ අභයභූමි කලාපයට ඒකාබද්ධකර වනජීවී කලාපයක් ලෙස අංක 566/5 දරන ගැසට් පත්‍රය මගින් නම් කිරීමේ ප්‍රතිපලයක් ලෙසිනි. ගම්මුන් කිසිවකුටවත් නොදන්වා එවකට වයඹ පළාත් ප්‍රධාන අමැතිවරයාවූ ගාමීණී ජයවික්‍රම පෙරේරා මහතාගේ අදහසකට අනුව මෙම කටයුත්ත සිදුවූ බවට චෝදනාකරන ගම්වැසියෝ වත්මන් වනජීවී ඇමැතිවරයාලෙස එතුමාටම එම වරද නිවැරදිකළ හැකිබව පවසති. .
ඉරුදෙනියාය ගොවිබ්ම් සුරැකීමේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති පී. ඒ. අබේසේකර මහතා මේ සම්බන්ධව මෙසේ අදහස් ප්‍රකාශ කළේය. “මම අම්මා තාත්තා එක්ක මෙහෙට එනකොට වයස අවුරුදු 16 යි. පස්යාලේ අපේ ඉඩම්වල වගාකරන්න බැහැ. සිරිමා මැතිනියගේ කාලේ වගා සංග්‍රාම වැඩසටහන යටතේ අපි පවුල් පිටින් ඇවිත් පදිංචි වෙලා ගොවිතැන් කළා. වයඹ මහ ඇමැති ලෙස ජයවික්‍රම පෙරේරා මහතා මේ ඉඩම් වනජීවී දෙපාර්තුමේන්තුවට 1989 දී පැවරුවේ ගම්වැසියන් කිසිදු අයුරකින් දැනුවත් නොකරයි. එදා මේ සීමා මායිම් ලකුණු කරලා තිබෙන්නේ හෙලිකොප්ටරයින් ඇවිත් උඩුගුවනේ සිටයි. මේගැන නොදැන සිටි ගම්වැසියන් පුරුදු විදිහට කෘෂිකාර්මික කටයුතුවල නිරත වුණා. ඒවෙනකොට මේ පැත්තේ එක අලියෙක් හිටියේ නැහැ. පසුව වයඹ මහ ඇමැති ලෙස ප්‍රේමචන්ද්‍ර මහතා පත්වුණාට පසු එතුමා ගම‍ට ඇවිත් ගම දියුණු කිරීම සඳහා උදව්කරන්න පොරොන්දු වුණා. එහි ප්‍රතිපලයක් ලෙස ඩී. බී. විජේතුංග ජනාධිපතිතුමා 1994 දී ගමට ඇවිත් ඉරුදෙණියායේ ශෛලමය සිහිවටන ඵලකයක් ස්ථාපිත කරලා සන්නසක් මගින් මෙම ඉඩම් ජනතා අයිතියට පැවරුවා. අපිට ඇහෙන්න සන්නස කියෙව්වා. පසුව එය වයඹ පළාත් සභාවේ තැන්පත් කළා කියලා කිව්වට දැනගන්න තිබෙන තොරතුරු අනුව එය දැන් අතුරුදන් වෙලා.
හිටපු ජනපති ඩී. බී විජේතුංග මහතාගේ ආගමනයෙන් පසු එවකට වයඹ වමඇමැති ධූරය හෙබවූ ජී. එම් ප්‍රේමචන්ද්‍ර මහතාගේ මෙහෙයවීමෙන් මුල්ගම්මාන නවය බඹරගලයාය,ඉරුදෙනියාය හා කට්ටම්බෙරියයාය ලෙස ඒකාබද්ධ කර සැළැසුම්සහගත ගම්මාන තුනක් වශයෙන් සංවර්ධන කටයුතු සිදුකර තිබේ. ඒ යටතේ ගමට විදුලිය,රෝහල්,පාසැල් ඇතුළු සම්පත් රැසක් ගලා ඒමෙන් ජනජීවිතය තව තවත් ස්ථාවර වී ඇත.
වගාව වෙනුවට හිස්වැසුම්

“ගමේ ගෙවල් හැදෙන්න ගන්නකොට 1996 වසරේදී එකපාරටම වනජීවී එකෙන් ඇවිත් කිව්වා වහාම ඉදිකිරීම් නතරකරන්න. මේවා වනජීවී එකට අයිති ඉඩම් කියලා. එතකොට තමයි අපි දන්නේ මේ ඉඩම් වනජීවී එකට ගැසට් එකක් මගින් පවරගෙන කියලා. එතැන ඉඳන් ගහක් කැපුවොත්, වගා ළිඳක් හෑරුවොත් වනජීවී එකෙන් අල්ලගෙන ගිහින් නඩු දාන්න පටන් ගත්තා. පුදුම කරදරයකින් ජීවත්වුණේ. වසර 2000 වගේ කාලේ තමයි මුලින්ම මේ පැත්තට අලි ආවේ. වනජීවී එකෙන් වෙනත් ප්‍රදේශවලින් අලි අල්ලලා කහල්ල පල්ලේකැලේ රක්ෂිතයට හා මේ අවට ගම්මානවලට ඒ සත්තු ගෙනත් දැම්මා. දැන් අලි බෝවෙලා රක්ෂිතය ඇතුළෙයි පිටතයි වනඅලි 125ක් පමණ ඉන්නවා. අපිව එළවලා මේක සංචාරක කලාපයක් කරන්න තමයි වනජීවි එකට හා ඇමැතිවරයාට ඕනවෙලා තිබෙන්නේ. රක්ෂිත අභයභූමියේ සිට ගම හරහා කෘතීම අලි කොරිඩෝවක් නිර්මාණය කර වනඅලි ටික හත්වටුනාව ජලාශයට ගෙනඒමේ සැළැස්මක් දැන් ක්‍රියාත්මකයි. කිලෝමීටරයක් පමණ පළලින් යුත් මෙම අලි කොරිඩෝව සැළැසුම් පරිදි ඉදිකළොත් අවට ගම්මාන 62කට අයත් 25000 ක පමණ පිරිසක් පීඩාවට පත්වෙනවා. වනජීවී අධ්‍යක්ෂවරයා මෙහෙට ඇවිත් මේ අලිකොරිඩෝව දාලා සංචාරක කළාපයක් ලෙස මේ පළාත දියුණු උනාම ඔයාලට අව්වේ වේලී වේලී පොළව කොටන්නේ නැතුව සුද්ද්නට තොප්පි, කොමඩු, තැඹිලි විකුණලා දවසකට හොඳ ගාණක් හොයන්න පුළුවන් කිව්වා. මම ඇහුවා එයාගෙන් මහත්තයෝ බත්ද කන්නේ කියලා. . ” අබේසේකර මහතා පවසයි.
කහල්ල පල්ලේකැලේ වන රක්ෂිතය අක්කර 60000 ක පමණ වපරිසයකින් සමන්විතය. එහි සිටින වන අලි ගම්වැදීම වැලැක්වීම පිණිස පොල්පිතිගම ප්‍රාදේශිය ලේකම් බලප්‍රදේශය තුළ පමණක් කිලෝමීටර 42ක දුරන් යුත් අලි වැටක් ඉදිකර තිබේ. ඉනිහාමිනිගම සිට දඹේ දකවා දිවෙන මෙම සීම­ාවට අයත් අලිවැට නඩත්තු කිරීම සිදුකරනු ලබන්නේ ගම්මුන් විසින්මය. ගොවි සංවිධාන හතක් එක්ව මෙම අලිවැටේ සීමා මායිම් කර එය කොටස් වශයෙන් ගෙන දෛනිකව පරීක්ෂාවට ලක්කීරීම ගම්මුන් විසින් සිදුකරනු ලබති.
හක්වටුනාව ගොවිබිම් සුරැකීමේ ව්‍යාපාරයේ සභාපති සරත් කුමාර මහතා වගා සංග්‍රාම වැඩපිළිවෙළ යටතේ මේ ප්‍රදේශයේ මඩහපොළ, මඩහපොළකන්ද, මැල්සිරිපුර, හැල්වැහැර වගේ ප්‍රදේශවලින් පැමිණි පිරිස් පදිංචිව සිටිනවා. මෙහි පදිංචි පවුල්වලින් 99% ක්ම ජීවත් වන්නේ ගොවිතැනින්. වගාබිම් පමණක් නොව ගොවින්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම පිණිස අලි වැට නඩත්තු කිරීම අනිවාර්යයෙන් කළ යුතුයි. ගොවි සංවිධාන නියෝජිතයින් දෙදෙනා බැගින් අදාළ ගොවි සංවිධානයට බාරදී තිබෙන කොටස දෛනිකව පරීක්ෂාකර අවශ්‍යය නඩත්තු කිරීම් සිදුකරනවා. තමන්ගේ රාජකාරීය පැහැර හැරියොත් අදාළ පුද්ගලයා රුපියල් 500. 00 ක දඩයකට යටත් කිරීමටත් ගොවි සංවිධාන එකඟවී තිබෙනවා.
ප්‍රාෙයා්ගික ගැටලු
අලිවැට නඩත්තුවට සිවිල් ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු යොදවා තිබුණත් ප්‍රායෝගිකව ඔවුන්ට එම රාජකාරිය ඉටුකළ නොහැකියි. ඔවුන් මෙහි පැමිණෙන්නේ කිලෝමීටර 50 ක පමණ දුරක් ගෙවලයි. ඒ ඇවිත් කිලෝමීටර 42 ක දුරක් ආවරණය කරන්න පුළුවන්ද?. වනජීවි දෙපාර්තුමේන්තුව කටයුතු කරන්නේ වන අලි චාර්යාවන් පිළිබඳව නිශ්චිත අව‍බෝධයකින් තොරවයි. යෝජිත අලි කොරිඩෝව දැමීම මගින් දැනට වන අලි තර්ජන ඇති ගම්මානවලට අමතරව තවත් ගම්මාන රැසක් එම තර්ජනයට ලක්වෙනවා. එම ජනතාවට වන අලින්ගේ චර්යාවන් පිළිබඳ නිසි අවබෝධයක් නොමැති නිසා ජීවිත විශාල සංඛ්‍යාවක් අලි මිනිස් ගැටුමින් විනාශවීමේ අවධානමක් මේ තුළ තිබෙනවා. විශාල ජීවිත ගණනක් විනාශවූ පසු ජනතාවට ඒ අවබෝධය ලැබේවි. වනජීවී දෙපාර්තුමේන්තුව පාර කපන්නනේ එයටද කියන එක ප්‍රශ්නයක්. මේ ප්‍රදේශය වනජීවී කලාපයක් ලෙස ගැසට් කිරීමෙන් පසුවත් මෙහි රජයේ වියදමින් ගොඩනැගිලි රාශියක් හැදුණා. නිවාස 95% කට පමණම විදුලිය සපයා තිබෙනවා.
රටේ ජනාධිපති, අගමැති තෝරන ඡන්දයේ පටන් සෑම මැතිවරණයකදීම මේ ජනතාව ඡන්දය දෙනවා. හැබැයි මේ ජනතාවගේ ජීවත්වීමේ අයිතිය එම මහජන නියෝජිතයින්ම එකතුවී අහිමිකරන්න හදනවා. එදා 1989 දී රජය මේ ප්‍රදේශය වනජීවී කලාපයක් ලෙස නම්කිරීමත් සමඟම ජනතාව ඉවත්කීරීමට කටයුතු කළේනම් එහි යම් සාධාරණත්වයක් තිබුණා. එම තීරණය ගෙන වසර 25 කට පසු මේ විදිහට පදිංචි පවුල් ඉවත්කිරීමට යෑම කිසිසේත්ම යුක්තිසහගත ක්‍රියාවක් නොවෙයි. රක්ෂිතයේ විශාල තේක්ක වගාවක් තිබෙනවා. අලින්ට අවශ්‍ය ආහාර එහි හිඟයි. වනජීවී කලාපය තුළ පිහිටි රක්ෂිතය තුළ වනඅලින්ට හිතකර පරිසරයක් නිර්මාණය කරන්න වනජීවී දෙපාර්තුමේන්තුව එක රුපියලක් වියදම් කර නැහැ. අක්කර 200 ක පමණ වපරිසයක් ඇති වැව් කිහිපයක් රක්ෂිතය තුළ තිබෙනවා. මේවා පිළිසකර කළොත් අලින්ට අවශ්‍ය ජලය පහසුවෙන්ම ඉන් ලබාගත හැකියි.
ජනතාවගේ විසඳුම

තේක්ක වගාව ඉවත්කර එහි අලින්ට ආහාර වශයෙන් ගත හැකි ශාඛ වගාකරන්න පුලුවන්. හත්වටුනාව වැව ආශ්‍රිතව දැනට සිටින 15ක් පමණ වන අලි රංචුව රක්ෂිතයට ගෙනගොස් අලිවැට ශක්තිමත් කිරීම තමයි අපි යෝජනාකරන විසඳුම. දෙපාර්තුමේන්තුව වන අලින්ගේ යහපත අපේක්ෂා කරන්නේ නම් කළ හැකි හොඳම දේ එයයි. ඊට අපේ ගොවි සමිති සියල්ලම ශ්‍රම දායකත්වය නොමිලේ ලබාදෙන්න එකඟයි. සංචාරක ව්‍යාපාරය දියුණුකළ යුත්තේ ජනජීවිතය අවුල කරමින් නොවෙයි.
කහල්ල පල්ලේකැලේ රක්ෂිත සීමාවේ ඇති අලි වැටේ සිට හත්වටුනාව වැව් රක්ෂිතයට මීටර 300 ක පමණ දුරක් තිබෙනවා. කිලෝමීටරයක පළලින් යුතුව අලි කොරිඩෝව දැම්මොත් ඒ ඔස්සේ වැව් රක්ෂිතයට එන අලි ගම්මාන අශ්‍රීතව තිබෙන අක්කර 10-15 ප්‍රමාණයේ කුඩා කැලෑ මණ්ඩලවලට රිංගන්න හොඳටම ඉඩකඩක් තිබෙනවා. එහෙම වුණොත් දැනට පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සීමාවී තිබෙන අලි ප්‍රශ්නය ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය දක්වාත් ව්‍යාප්ත වියහැකියි.”
යෝජිත අලි කොරිඩෝව ක්‍රියාත්මක වුවහොත් එම සීමාවේ පිහිටි නිවාස 21ක් ඉවත්කිරීමට සිදුවෙයි. ඒ සඳහා සූදානම්වන ලෙස වනජීවී දෙපාර්තුමේන්තුව මේ වනවිටත් එම නිවාසවල පදිංචිකරුවන්ට වාචිකව දැනුම්දී තිබේ. කොරිඩෝවට අයත්වන සීමාවේ පදිංචි පී. ජී විමලසිරි මහතා බීළුෑණූ බීජ නිෂ්පාදනයේ නිරත මෙරට අතලොස්සක්වන ගොවීන්ගෙන් කෙනෙකි. ඉන්දියාවේදී ඒ සඳහා පුහුණුව පවාලැබ ඇති ඔහු කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ නිරන්තර ඇගයුමට ලක්වූ ගොවියෙකි. “මේ අලි කොරිඩෝව හැදුවොත් මගේ ගේ පමණක් නොව බීජ ගබඩාව, වගා ළිඳ ඇතුළු සියල්ල මට අහිමිවෙනවා. මට දැන් වයස අවුරුදු 54 ක්. අයේ ගෙවල් හදන්න අපට පුළුවන්ද? වයඹ කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවට බීළූණු බීජ සපයන්නේ මම. වසරකට බීජ කිලෝග්රෑම් 15000ක් පමණ නිෂ්පාදනය කරන නිසා බීජ ආනයනය සඳහා ඉන්දියාවට ඇදීයන රටේ මුදල් විශාල ප්‍රමාණයක් ඉතිරිකර ගන්න අපි විශාල දායකත්වයක් ලබාදෙනවා. මගේ ගේ ඉදිරිපිටින් වැටී තිබෙන පොල්පිතිගම මැල්සිරිපුර මාර්ගයේ කිලෝමීටරයක කොටසකුත් මේ අලි කොරිඩෝවට අහුවෙන නිසා ගමත් දෙකට බෙදෙනවා. බස් රථය යන්න වෙන්නේ කොරිඩෝව හරහා. වලගම්බාපුර විදුහලට යන ළමයින්ට පාසලට යනකොට අලිකොරිඩෝව පහුකරන්න වෙනවා. මෙමඟින් සිදුවන්නේ ජනජීවිතය අනාරක්ෂිත වීමයි. දැන් අපිට අලිකරදර තියෙන්නේ එක පැත්තකින්. කොරිඩෝව දැම්මොත් හතර පැත්තෙන්ම අපි අලින්ට කොටුවෙනවා. නිවාස දෙනවා කිව්වට කොහෙන් දෙනවද කවුද දන්නේ. නිලධාරීන් ඇමැතිවරුන්වත් රවට්ටනවා. නායගිය තැන්වල මිනිස්සු අවුරුදු ගණන් අවතැන් කඳවුරුවල ඉන්නවා. ඔවුන්ට නිවාස හදලා දෙනවා කිව්වට කියන විදිහට ඒවා කෙරෙන්නේ නැහැ. අපේ මළකඳන් උඩින් තමයි මේ අලි කොරිඩෝව අරින්න වෙන්නේ. වනජීවී ඇමැතිතුමා පරිසරයට ආදරයකරන කෙනෙක් නිසා එතුමා සත්තුන්ගේ අයිතිය වගේම අපේ අයිතියත් ආරක්ෂා කරයි කියලා අපි විශ්වාස කරනවා.
නිලධාරීන්ගේ පීඩා
එච්. එම් සමරකෝන් බණ්ඩා මහතා- “ඉරුදෙණියාය ගමට ඇවිත් දැන් අවුරුදු 35 ක් වෙනවා. අලි ගහලා මේගමේ 15 දෙනකු පමණ මියගිහින් තිබෙනවා. මගේ කෙසෙල් වගාව ‍දැන් දින කිහිපයක‍ට කලින් අලිකෑවා. පොල් ගස් 50000 ක් විතර මේවෙනකොට විනාශකර තිබෙනවා. ගඩොලක් කපාගන්න පොළව කෙටුවොත් වනජීවි එකෙන් එනවා. පුතා ළඟදී විවාහවුණා. ගෙයක් හදාගන්න මේ නිලධාරීන් ඉඩදෙන්නේ නැහැ. මම බැරිමතැන වනජීවී එකේ මහත්තයාට කිව්වා කසාද බැඳපු පුතා මහත්තයාගේ ක්වාටස් එකේ නතර කරන්නද කියන්නේ කියලා.
නාබඩපොකුණ සේනාසනයේ කුඹුකුලාවේ මේධංකර හිමි-වසර 50 ක පමණ කාලයක් මේ පළාතේ ජීවත්වන ජනතාවගේ ඉඩම් ප්‍රශ්නය නිරවුල් කරදීම වෙනුවට අද සිදුවන්නේ ඔවුන් මහපාරට ඇදදැමීමේ වැඩපිළිවෙළකුයි. මේ රක්ෂිතයේ ඉන්න අලි කොරිඩෝවකින් ජලාශයට ගෙනයන්න බැහැ. උන්ට පුරදු පාරවල් තිබෙනවා. මේ අරන්න යනපාර කොහෙත්ම අලිමංකඩක් නොවෙයි. මේක ඇතිකරන්න යන්නේ කෘත්‍රිමවයි. වනජීවී නිලධාරීන් මේ ජනතාවට නිතර පීඩාකරනවා. ජලාශයට කොරිඩෝවක් දැම්මොත් අලි වැවෙන් වතුර බීලා‍ ගමෙන් කන්න එයි. එතකොට මේ එළවළු වගාවන් සියල්ල විනාශවන බව සිකුරුයි. අලි මිනිස් ගැටුමත් උග්‍රවේවි.
අනේ මාමේ අපේ අම්මලා තාත්තලා ගොවිතැන් කරලා ජීවත්වන්නේ. වගාබිම් අලින්ගෙන් ආරක්ෂා කරගන්න ඒ අය රෑ දවල් පුරා මහන්සි වෙන්නේ මාමලා ඔයාලගේ දරුවන්ට උගන්නන්න මහන්සිවෙනවටත් වඩා වැඩියෙන් මහන්සිවෙලයි. අලි ආවෝත් තාත්තා අපිව ඉස්කෝලේ යවන්නේ නැහැ. මම පන්තියේ පළමුවැනියා වුනත් අධ්‍යාපනයට වඩා තාත්තට මාව වටිනවා. . . ආණ්ඩුවේ ලොකු රස්සාවක් නොකලට මගේ තාත්තා මහමෙරක් තරම් මටත් වටිනවා. . සුදු මහත්වරුන්ට ගමේ ලස්සන පෙන්නන්න අපිව ගෙවල්වලින් එලවලා හරියනවද. . අලි කොරිඩෝව දැම්මොත් අපිට ඉස්කෝලේ නැතිවෙනවා. . බස්එක නැතිවෙනවා. . එත් කමක් නැහැ. . ඒ නිසා අපිට අපේ පවුල නැතිකරගන්න බැහැ මාමේ. . . . මේ ඉරුදෙණියාය ගම්මානයේ විනෝද්‍යා සංසරණී පුංචි දැරිය අප ආපසු පැ‍මිණෙන අතරතුර අප හා පැවසූ සංවේදී කතාවක කොටසකි. . . .
ඇමැති මතය
මේ සම්බන්ධව කළ විමසීමකදී වනජීවී අමාත්‍යය ගාමීණී ජයවික්‍රම පෙරේරා මහතා මෙසේ පැවසීය. ඉරුදෙනියාව ගම ඒ අයට දුන්නේ මමයි. මේ ප්‍රදේශයේ ගොවීන් අද පිට රටට පවා එළවළු යවනවා. කහල්ල පල්ලේකැලේ රක්ෂිතයේ සිට ජලාශයට මංකඩක් තියෙන්න ඕන. නැත්කම් අපි මිනිස් ගැටුම උග්‍රවෙනවා. මේ වසරේ මුල් මාස පහ තුළ වන අලි 200කට වඩා මියගිහින් තිබෙනවා. මේ අලිමංකඩ ඇති නොකළහොත් ගමේ අලි මිනිස් ගැටුම උග්‍රවේවි. මේ වැඩපිළිවෙළට විරුද්ධ දෙතුන් දෙනෙක් විතරයි. අයින්කරන හැමෝටම ඉඩම් සමඟ වන්දි දෙනවා. ප්‍රාදේශීය ලේකම් මගින් ඒබව දැනුම්දී තිබෙනවා. අවශ්‍ය ඉඩම් සොයාගෙන තිබෙනවා. ජලාශය ආසන්නයේ තෘණ භූමියට අලිඇතුන් රක්ෂිතයේ සිට එනවා‍. අලි ඇතුන් සදාකාලිකව ගිය මංකඩවල් වහන්න බැහැ. දැන් අලිමංකඩවල පදිංචිව සිටින පිරිස් ඉවත්කර ඔවුන්ට ඉඩම්, නිවාස සමඟ වන්දි ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ඇතැම් දේශපාලකයෝ කළ වැරදි නිසා සංවර්ධන ව්‍යාපෘති දියත්කෙරුණු ප්‍රදේශවල ජනතාව අලිමංකඩවල පවා පදිංචිකර තිබෙනවා. අලිමිනිස් ගැටුමෙන් විශාල ජීවිත ප්‍රමාණයක් අහිමිවන්නේ මේ වැරදි තීරණ නිසයි. ජලාශයට පාර වැටුණම සංචාරක කලාපයක් ලෙස මේ ප්‍රදේශය දියුණුවෙනවා. මිනිස්සු බහුලව මේ ප්‍රදේශයට එනවා. රජයේ සහනාධාර,සමෘද්ධි නැතුව මේ ජනතාවට දියුණු විය හැකියි. මේක ඒ ජනතාවට අවබෝධකර දීම ජනමාධ්‍යයේ වගකීමයි.
Share this article :
NAFSO
NAFSO Convenersdiary
WOMEN
YOUTH
LAND
ACN
IDP
PPD
SRIVIMUKTHI
www.nafsojurney.blogspot.com
 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2013. NAFSO: Towards a Fisher People's Movement - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger